ගම්පොළ කලාප කාර්යාලය තුළ පැවැත්වූ පරීක්ෂණවල දී චන්දිමාල්ගේ බිරිය සාක්ෂි ලබා දුන් අයුරු
ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි සේවකයෙකු මියගොස් සිටියදී සොයාගත් බව ගම්පොළ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කලාප කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු ලෙස සේවය කළ දෙවුන්දර පල්ලියගුරුගේ චන්දිමාල් ගුරුගේ නමැති 44 හැවිරිදි අයෙකි.
දෙදරු පියකු වූ ඔහු ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෙරේදා (13) රාජකාරි සඳහා පැමිණ සිටි මොහු පෙරවරු 10 පමණ සිට කිසිවකුත් දැක නොමැති නිසා වරින් වර කීපදෙනෙකු මොහු සොයා තිබූ බව පොලිසිය පවසයි.
ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දුන්නද ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ගම්පොළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ උපදෙස් මත මොහු සෙවීම ආරම්භ කර තිබුණි.
ඒ අනුව පිරිසක් පස්වරු 4.00ට පමණ කාර්යාලය ඇතුළේ තිබෙන වැසිකිළියේ දොර හැර බලන විට ඒ තුළම මොහු බිම වැටී මියගොස් සිටි බව දැක තිබේ. පසුව මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ඇත.
ගම්පොළ ස්ථානීය විශේෂ අපරාධ ඒකකය (සොකෝ) හා ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කොට රාත්‍රියේදීම සිරුර ගම්පොළ රෝහල වෙත රැගෙන යන ලදී. මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබුණි.
මියගිය චන්දිමාල් ගුරුගේ හට කුඩා ගැහැනු දරුවන් දෙදෙනකු සිටින අතර බිරිය කලාප කාර්යාලය වෙත පැමිණ පොලිසිය වෙත හා මරණ පරීක්ෂකවරයා වෙත කටඋත්තරයක් ලබා දෙමින් පැවසුවේ සැමියාට පසුගිය දිනවල දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා ප්‍රතිකාර ගෙන පසුව නතර කළ බවයි.
වෙනත් රෝගයක් නොමැති බවත් ඇය පැවසුවාය.
ගම්පොළ සමූහ සුරංග දිල්හාන්