Sunday, April 20, 2025
Home » තලවකැලේ තරුණ පියෙක් මරුට: යාපනයේ තරුණයෝ 5ක් රෝහලේ
දීපාවලි සැමරුම් සාද දුර දිග ගොස්

තලවකැලේ තරුණ පියෙක් මරුට: යාපනයේ තරුණයෝ 5ක් රෝහලේ

-පෙර සිද්ධි අලුත් කරමින් ගුටි ඇනගෙන | ගැටුමට මැදි වූ පිරිසක් අල්ලයි

by sachintha
November 15, 2023 1:00 am 0 comment

 

තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේදී පෙරේදා (13) දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

ගැටුමෙන් මියගොස් ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වත්තේ පදිංචි ශිවඥානම් සංජීවන් නමැති 22 හැවිරිදි එක්දරු පියෙකි. දීපාවලි උත්සවය සමරමින් සිටි ගැටුමට සම්බන්ධ දෙපිරිසම පැරණි කෝන්තරයක් ඉස්මතු කර ගනිමින් තලවකැලේ නගරයේදී බහින්බස් වීමක් ඇති කරගෙන ඇති බවත්, ඉන් අනතුරුව මරණකරු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු ත්‍රිරෝද රථයකින් නිවෙස කරා ගමන් කරමින් සිටියදී පසුපසින් තවත් ත්‍රිරෝද රථයකින් ලුහු බැඳ පැමිණි පිරිසක් හොලිරුඩ් තේ කර්මාන්ත ශාලාව අසලදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය නතර කර ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන ඇත. විකට් පොලු සහ තියුණු ආයුධවලින් මෙම පහරදීම සිදු කර ඇති අතර, පහරකෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිව් දෙනකු ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව තලවකැලේ පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

ගැටුමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ලිඳුල පොලිසිය විසින් ලිඳුල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තලවකැලේ පොලිසිය වෙත භාර දෙනු ලැබිණ. මියගිය එක්දරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කරන බවත්, දෙපාර්ශ්වයම පැමිණි ත්‍රිරෝද රථ පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

මේ අතර, දීපාවලි දිනයේ ඇති වූ සිද්ධියක් මුල් කරගෙන යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ද ඊට පසු දින ඇති වූ ගැටුමකින් තරුණයන් පස් දෙනකු තුවාල ලබා පෙරේදා (13) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තරුණයන් පිරිසක් දීපාවලි දිනයේදී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඒ අසලට පැමිණි තවත් තරුණයන් පිරිසක් බලහත්කාරයෙන් එම සාදයට සම්බන්ධ වීමට ගිය අවස්ථාවේදී සුළු ගැටුමක් හටගෙන තිබේ. පසුව වෙනත් පිරිසක් එම ගැටුම සමථයකට පත් කොට ඇත. ඊට පසු දින යතුරුපැදිවලින් තරුණයන් පිරිසක් වෙනත් ගමනක් යමින් සිටියදී පෙර දින ගැටුම ඇති කර ගත් තරුණයන් හමුවීමෙන් පසුව ඇති වූ බහින්බස් වීමක් මත යළි ගැටුමක් ඇතිව තිබේ. එහිදී දුරකතන ඇමතුම් ලබා දෙමින් දෙපිරිසම සිය මිතුරන් කැඳවා එකිනෙකාට පහර දී ගැනීම හේතුවෙන් දෙපාර්ශ්වයේම තරුණයන් පස් දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

රෝහල්ගත කළ තරුණයන්ගෙන් තිදෙනකු බරපතළ තත්ත්වයේ පසුවන අතර, ගැටුම පිළිබඳව කෝපායි පොලිසියට තොරතුරු වාර්තා වීමත් සමඟ පොලිසිය එම ස්ථානයට යන විටත් තරුණ පිරිස පලා ගොස් තිබේ. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

හැටන් – රංජිත් රාජපක්ෂ, උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT