ජයසිරි මුණසිංහ, අසේල කුරුළුවංශ, මාරවිල මිහිර විජේසේකර, මාපාකඩවැව සමුහ එච් එම් රංජිත් කරුණාවිර
‘සවිමත් අනාගතයකට පෙරවදනක්’ තේමා කරගනිමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ 78 වැනි අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පෙරේදා (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
බිඳවැටුණු ආර්ථිකය යළි ශක්තිමත්ව නඟාසිටුවීමට අවශ්‍ය මූලාරම්භය මේ වන විටත් තබා ඇති රජය, වසර 2024 අය වැයෙන් රටේ සමාජ, ආර්ථික, දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟාගැනීමට වෙර දරන ආකාරය පැහැදිලි කර තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ කටයුතු ඇතුළු රටේ සියලු ක්ෂේත්‍රවල ප්‍රගමනයට දායක වන ආකාරය සඳහන් කරමින් වියදම් යෝජනා 50ක් ඉන් එළිදක්වා ඇත. ආදායම් වැඩි කරගැනීමේ ප්‍රතිපත්තිමය යෝජනාද ඉදිරිපත් කර තිබේ. මේ ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ව්‍යවසායක ප්‍රජාව, රජයේ නිලධාරීන්, වෘත්තීය සංගම් නායකයන් හා ආයෝජන විශ්ලේෂකයන් අප සමඟ දැක්වූ අදහස් පෙළගැස්මකි.
ඍණ ආර්ථිකයට බිග් පුෂ් එකක් දී ධන අගයකට ගෙන යන අයවැයක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න
ඍණ අගයක පවතින ආර්ථිකයට බිග් පුෂ් එකක් දී ධන අගයක් කරා ගෙන යෑමේ අරමුණු මෙවර අයවැය තුළ දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පවසයි. සිරිමාවෝ බණ්ඩාරනායක පාලනයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන මහතා රට භාර ගැනීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබුවේද මේ හා සමාන අයවැයක් යැයි ද ඒ මහතා කීය. 2024 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජාතික ආදායමට සාපේක්ෂව අනුපාතයක් ලෙස අයවැය පරතරය 9.1%ක් බවත්, මෙය මෑත ඉතිහාසයේ දක්නට ලැබුණු විශාලතම පරතරයක් දක්නට ලැබෙන අයවැය බවත් හෙතෙම අවධාරණය කළේය. ආදායම හා වියදම අතර පරතරය 33% ඉක්මවා තිබෙන බවත්, ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ රොනී ද මැල් මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැයේද මේ ආකාර ආදායම හා වියදම අතර පරතරයක් දක්නට ලැබුණු බවත් කී ඒ මහතා ආර්ථික විප්ලවයකින් එදා මෙරට ආර්ථිකයේ විශාල පිබිදීමක් ඇති වූ සේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙදා ඍණ ආර්ථිකය ධන ආර්ථියක් දක්වා ගෙන යෑමට සැලසුම් කර ඇති බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද ප්‍රකාශ කළේය.
අපේක්ෂිත බදු ආදායම ලබාගැනීමට නොහැකි වුව හොත් අයවැයෙන් පෙන්වා තිබෙන අයවැය පරතරය තවත් වැඩි වනු ඇති බවත් මේ නිසා වියදම් හැකි තරම් සීමා කරගනිමින් බදු ආදායම් බලාපොරොත්තු වන ආකාරයෙන් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කාරණයක් බවත් රාජරත්න මහතා කීය.
මේ වෙලාවේ අයවැයක් ගේනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් – මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි
සභාපති – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය
මේ අවස්ථාවේ අය වැයක් ඉදිරිපත් කරනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. ඉතාම අසීරුවෙන් සමබර කරගනිමින් ගමන් කළ යුතුයි. අපේ රටේ රාජ්‍ය ආදායම අඩුයි. වියදම විශාලයි. පිටරටවලට ගෙවිය යුතු වගේම දේශීය ණය ගෙවීම්වලටත් විශාල මුදලක් අවශ්‍යයි. රටේ ආර්ථිකය බිඳවැටිලා. සියලු දෙනාගේම ප්‍රශ්නයක් බවට ආදායම් අඩුවීම පත් වෙලා. මේ අය වැයෙන් ආදායම් අඩුවීමේ, නැතිනම් ආර්ථික අහේනියෙන් පසුවන්නන්ගේ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ දේ යම් තරමකින් හෝ කිරීම ඉතා විශාල අභියෝගයක්. අධ්‍යාපනය ඉහළ නැංවීමට කළ යෝජනා වටිනවා.
බදු ගෙවීමේ සංස්කෘතියට අපට හුරු වෙන්න වෙනවා -ආචාර්ය අමිල කංකානම්ගේ
හිටපු සභාපති – කොළඹ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය
රජයේ බදු ආදායම වැඩි කර ගැනීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා වැට් බදු ප්‍රතිපත්ති ඉහළ දමා තිබෙනවා. මෙය සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ඉහළයෑමට බලපානවා. නමුත්! ආණ්ඩුවට මේ අවස්ථාවේ වෙන කරන්න දෙයක් නැහැ. අපි කවුරුත් රජයට බදු ගෙවීමේ සංස්කෘතියකට හුරු විය යුතුයි. බදු පමණක් නොව, රජයේ ආදායම් වැඩි විය යුත්තේ නවෝත්පාදන අලුත් උපායමාර්ග අනුගමනය කරමින් ආර්ථිකය වර්ධනය කර ගනිමිනුයි. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ දියුණුවට වගේම සෑම අංශයකටම දිරිදීම් සිදුකර ඒ හරහා බදු ආදායම් වැඩි කර ගැනීමට ක්‍රියා කළොත් හොඳයි.
ආණ්ඩුව ගත්ත තීරණය මොනවා වුණත් අගෙයි -සුදන්ත රත්නායක මහතා
සභාපති – ජාතික නිදහස් ගුරු සංගමය
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරිමට ආණ්ඩුව ගත්ත තීරණය මොනා වුණත් අපි අගය කරන්න ඕන. කවුරු ආන්ඩුව කරත් මීට වඩා දෙයක් මෙවැනි අවස්ථාවකදී කරන්න බෑ කියන එක තමයි අපේ විශ්වාසය. ගමේ ගොඩේ කථාවක් තියෙනවා උන්නා හැටියට මළා මදැයි කියලා. අපිට පුළුවන් දසදහස වෙනුවට හැටදහසක්, ලක්ෂයක් උනත් ඉල්ලන්න. හැබැයි ඒක ආණ්ඩුව දෙන්නේ කොහෙන්ද කියලාත් අපිට හිතන්න වෙනවා. ඒ අනුව බලන කොට රාජ්‍ය සේවකයා වෙනු වෙන් මේ වෙලාවේ රුපියල් දස දහසක් දීම කියන කාරණය අපි අගය කරන්න ඕන.
ආර්ථික සංවර්ධන යෝජනා කිසිවක් නෑ- මහාචාර්ය අජිත් දිසානායක
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය
රටේ ආර්ථික අභියෝග ජයගත හැකි දිගුකාලීන ආර්ථික සංවර්ධන යෝජනා කිසිවක් නැති වචන හරඹයක් විතරයි. මේ අය වැයෙන් රට ගොඩ යන යෝජනා ඉදිරිපත් වී නැහැ. සම්ප්‍රදායික අය වැයක්, ආදායම් වියදම් පියවා ගන්න හැකි තරම් ණය වෙන, ණය ගන්න අය වැයක්. මේ තුළ නිෂ්පාදන ආර්ථිකයට මඟපෙන්වීමක් නැහැ. අයි.එම්.එෆ් එක සරණං ගච්ඡාමි ‘පන්නයේ’ අය වැයක්. ජනතාව මේ වගේ අය වැයක් බලාපොරොත්තු වුණේ නැහැ.
රට හොඳ මඟකට ගන්න ගෙනා යෝජනා හොඳයි -ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
ප්‍රවීණ ආර්ථික හා ආයෝජන විශ්ලේෂක
ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කළ අය වැය යෝජනාව වටිනා එකක්. ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තයේ දියුණුව හරහා විශාල ආර්ථික ප්‍රගතියක් අත්කරගත හැකි රටක්. අපේ රටේ සම්පත්, මානව සම්පත් මනාව කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යෑමට අය වැයෙන් කළ යෝජනා හොඳයි. ඉදිකිරීම් අංශයේ බිඳවැටීම් වැළැක්වීමටත්, එය නැවත නඟාසිටුවීමටත් යෝජනා වී තිබෙනවා. අපි සුබවාදීව ඒවා ක්‍රියාත්මක කළ යුතුයි.
රජයේ සේවක දීමනා වැඩි කර සහන සැලසීම ගැන සතුටුයි -නිශාන්ත ජයතිස්ස
පුත්තලම – සමෘද්ධි සංවර්ධන නිලධාරි
2015න් පස්සේ තමයි මෙවර රජයේ සේවකයන්ගේ පඩි වැඩි වෙන්නේ. රටේ ආර්ථික පසුබෑම හමුවේ රාජ්‍ය සේවකයන් සම්බන්ධව අවධානය යොමු කර සහන සැලසීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවධානය යොමු කළ යුතු අනිත් ක්ෂේත්‍රවලටත් සහන සලසාදීම ගැන අපි ජනාධිපතිවරයාටත් රජයටත් ස්තුතිවන්ත වෙනවා.