ජනතාවට අපා දුක පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හඳුන්වා දෙන මෙවර අයවැයෙන් විපක්ෂ නායක කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් මිලියන 286ක් දක්වා වැඩි කර ඇතැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී අබේවර්ධන මහතා මෙසේ ද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටක් බංකොලොත් වී තිබෙන අවස්ථාවක ඒ රට යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා වගකීම භාර ගත්තා. ඒ අවස්ථාවේ කිසි කෙනෙක් ඒ ප්රශ්නය අවබෝධ කරගෙන හිටියෙත් නැහැ. අපට ආර්ථික වශයෙන් වැරදුණු තැන් ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. ඒ නිසාම කිසිවෙකු ඒ අභියෝගය භාර ගත්තේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලඥයකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් නිසා ඔහු ආණ්ඩු වැටෙන වෙලාව, ආණ්ඩු පිහිටුවන වෙලාව ගැන නිසි අවබෝධයක් තියෙන නායකයෙක් කියා අපට හිතන්න පුළුවන්.
තෙල් සොයාගන්න බැරිව සල්ලි තියෙන අය තෙල් ලීටරය රුපියල් 500ට 1000ට 1500ටත් ගත්තා. සල්ලි නැති අය මහත් දුෂ්කරතාවකට පත්වුණා. පොහොර නැතිව ගොවි ජනතාව උදලු කරේ තියාගෙන නගරයට ආවා. කිරිපිටි නැතිව දරුවෝ අඬන යුගයක් ආවා. මුළු ආර්ථිකයම කඩාගෙන වැටිලා බංකොලොත් වුණාට පස්සෙ තමයි ඒ අභියෝගය රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර ගත්තේ.
ගිය අවුරුද්දේ මේ කාලේ රට හිටපු තැනේ හැටියට අය වැයක් ගේනවා තියා පාර්ලිමේන්තුව, අගමැති කාර්යාලය, ජනාධිපති කාර්යාලය කොහොමද රැකගන්නේ කියන අභියෝගය මේ රට හමුවේ තිබුණා. එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා ප්රජාතන්ත්රවාදය තහවුරු කර, පාර්ලිමේන්තුවත් ආරක්ෂා කර, ශ්‍රී ලාංකික සමස්ත මහජනයා ආරක්ෂා කිරීමට පියවර ගත්තා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියට අවධානය යොමු කර අයවැය ගෙනත් තිබෙනවා.
එම 27 (ඈ) අනුව රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම ගැන අවධානය යොමු නොකරන අවස්ථාවක ඒ පිළිබඳව අවධානය යොමුකර නූගත්කම තුරන් කිරීමටත්, සාධාරණ සමාන ඉඩ ප්රස්ථා සලස්වා දීමටත්, අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීමටත් මේ අයවැයෙන් අවධානය යොමු කර තිබෙනවා.
දේශපාලන පක්ෂ අවුරුදු 75ක් තරගයට බොරු පොරොන්දු දී බලයට ආවා. මින් ඉදිරියට දේශපාලන පක්ෂවලට ඒ වැඩේ කරන්න ඉඩ තියන්න එපා. 2024 අවුරුද්දට මුළු රුපියල් බිලියන 4200ක් ආදායම අවශ්‍යයයි. හැබැයි මුළු ආදායම ලැබෙන්නේ රුපියල් බිලියන 2850යි. ඉතිරි රුපියල් බිලියන 1350ක මුදල හොයාගන්නෙ කොහොමද කියා අභියෝගයකුත් අපට තිබෙනවා. ඒ අතරේ මහා ණය කන්දක් ගෙවන්න තිබෙනවා. දැන් මේ ණය ගෙවන්නත් පුළුවන්, ඉතිරි සල්ලි හොයාගන්නත් පුළුවන්. සියලුදෙනා ඒකට සහයෝගය දෙන්න ඕනෑ.
ඒ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් අප ඔක්කොම එකතු වෙලා වැඩ කළොත් විතරයි. අප වැඩ වර්ජන කළොත් එන ආදායම නැති වෙනවා. ලෝකය අපේ වැඩ වර්ජන දුටුවාම සංචාරක ව්‍යාපාරය සහ අපට ලැබෙන ආයෝජනය නැති වෙනවා.
සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් මහජන සුබසාධන වැඩසටහන සඳහා රුපියල් බිලියන 30ක් ණය සහ පොලී ගෙවීමට රුපියල් බිලියන 220ක් අවශ්‍යයි. රාජ්‍ය වියදම රුපියල් බිලියන 383ක්. 2023 පළමු මාස 09 අපේ මාසික ආදායම රුපියල් බිලියන 215යි. රුපියල් 168ක හිඟයක් තිබෙනවා. එහෙනම් මේ ණය ගෙවන්න ක්‍රමවත් ආර්ථික සැළැස්මක් හා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය කර තිබෙනවා.
අප සියලුදෙනා එකට එකතු වී ජාතික ප්රතිපත්තියකින් රට ගොඩගමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම කියනවා. බොරු කියා මහජනයා රවට්ටපු යුගය අවසන් කළ යුතුව තිබෙනවා.
එදා 2015 දී අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළ පසුව මෙවර අයවැයෙන් නැවතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වැටුප් වැඩි කර තිබෙනවා.
මෙවැනි අපහසුතා තිබෙන අවස්ථාවකත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ රජයේ සේවකයන්ගේ 7800ක් පැවති ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කර තිබෙනවා. හැබැයි මෙය ගෙවන්න වෙන්නෙ මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන්නෙ පෙබරවාරි, මාර්තු මාසය වන විටයි. ජනවාරි, පෙබරවාරි හිඟ මුදලුත් සමඟ ගෙවීමට වැය ශීර්ෂය හදලා තිබෙනවා.
විශ්‍රාමිකයන් හත්ලක්ෂ තිස්දහසකටත් ජීවන වියදම් දීමනාව රුපියල් 3525 සිට රුපියල් 6025 දක්වා රුපියල් 2500 කින් වැඩි කර තිබෙනවා. විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙනුත් රුපියල් බිලියන 386ක මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.
අනෙක් දේශපාලන පක්ෂත් කල්පනාවෙන් වැඩ කළ යුතුයි. ජනතාවට බොරු පොරොන්දු දී මේ ප්රශ්නය විසඳන්න බැහැ. ණයට අරගෙන අපට ඉදිරියට යන්න බැහැ. ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍යයි. දේශපාලන පක්ෂවලට විකල්ප වැඩපිළිවෙළක් නැතිනම් රට අමාරුවේ දාන්නෙ නැතිව, ජනතාව රවට්ටන්නෙ නැතිව, සියලුදෙනා නිසි ගමන් ගමට එකතු වෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා.
මේ අය වැය බංකොලොත් වූ රටක අයවැයක් බව මතක තබාගන්න ඕනෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකයත් ගත් පසුව තවත් සහන දී තවත් ශක්තිමත් කර ආර්ථික ගමන වේගවත් කර ඉදිරියට යන්න පුළුවන් කියා මතක් කරන්න කැමතියි. ගිය වර්ෂයට සමගාමීව කළ නොහැකි වැඩක් කළ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට ස්තූතියි කියන්න කැමතියි.
ශිරෝමි අබයසිංහ