තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් රට හැරයන්නන්ගෙන් ඉල්ලයි
ඩිජී – ඉකෝන් 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස රට හැර යන තරුණ තරුණියන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පැවසීය.
ඩිජි-ඉකෝන් වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
නොවැම්බර් 13 වැනිදා සිට සතියක් පුරා “Entrepreneurs Thrive Here” යන තේමාව යටතේ රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සමරනු ලබයි.
මේ සතිය පුරා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්‍රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුම්වත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබේ. දේශීය ව්‍යවසායකයන්, ආයෝජකයන්, පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර, සහයෝගිතාව හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයන් ඇගයීම හා සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කෙරේ.
ඒ අනුව ගෝලීය ව්‍යවසායකත්ව සතියේ මෙරට හවුල්කරුවන් 60කට වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රියාන්විතයන් 100කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා මෙසේ ද පැවසීය.
Startup Genome වාර්තාවට අනුව අපේ රටේ ස්ටාර්ට් අප් පද්ධතියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 244ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අපේ අරමුණ එය බිලියනයක් දක්වා වැඩි කිරීමයි. නව්‍ය ව්‍යවසායකත්වය නිසා අද අපේ රටේ තාක්ෂණය වෙනස් වී තිබෙනවා. අප භාණ්ඩ මිල දී ගන්නා ආකාරය, බිල්පත් ගෙවීම, ප්‍රවාහනය, බැංකු ගනුදෙනු කිරීම වැනි ක්‍රියාකාරකම්වල වෙනසක් ඇති වී තිබෙනවා.
ඩිජි-ඉකෝන් වැඩසටහන යටතේ අපේ ව්‍යවසායකයන් සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේ ප්‍රධානම අරමුණ වී තිබෙන්නේ අපේ රටේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමයි.
කර්මාන්ත අමාත්‍යාංශය සමඟ දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩසටහන ව්‍යාප්ත කරමින් පවතිනවා. මේ වැඩසටහනට සම්බන්ධ වී අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වී ඔබේ යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන විශේෂයෙන් තරුණ තරුණියන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය-
කර්මාන්ත අමාත්‍යාංශය රටේ තරුණ පරපුර ඉලක්ක කරගෙන ඔවුන් මේ සංකල්පය සමඟ ඉදිරියට ගෙනයෑමට කටයුතු කරමින් සිටිනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන් ඉලක්ක කර තිබෙන්නේ ඉසෙඩ් ජෙනරේෂන්හි තරුණ කණ්ඩායමයි. 2030 වන විට කාන්තා හා තරුණ ව්‍යවසාය දායකත්වය රටේ ආර්ථිකයේ 25%ක් දක්වා වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ගෝලීය ව්‍යවසායකත්ව ජාලයේ (GEN) ජාතික තානාපති සුරේෂ් ද මැල්, මාස්ටර් කාඩ් ශ්‍රී ලංකාහි අධ්‍යක්ෂ මහේෂා අමරසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සහ ගෝලීය ව්‍යවසායකත්ව සතියේ (GEW) තානාපති සචින්ද්‍ර සමරරත්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.