ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම් සිදු කරන සමාගම් අසාදු ලේඛනගත කරන්නැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දී ඇත.
ඖෂධ සඳහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බැවින් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දීම ඖෂධ සමාගම්වල වගකීම බවත් හෙතෙම පැවසුවේය.
ඖෂධ නියාමනය, සැපයීම, බෙදාහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ජාවකදී ඇමැතිවරයා මේ බව කීවේය. මින් පසු ඖෂධවල මිල තීරණය කිරීම සඳහා මිල තීරණය කිරීමේ කමිටුවක් (pricing committee) හරහා කටයුතු සිදු කළ යුතු බවට ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් වරදක් සිදු වනවා නම් එය ද පෙන්වා දෙන ලෙසට ඉල්ලීමක් කළ ඇමැතිවරයා කියා සිටියේ මෙරට ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධයක් රජය මඟින් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට තමන්ට අවශ්‍ය බවය. වාර්ෂිකව ඩොලර් මිලියන 500කට අධික මුදලක් මේ සඳහා වැය කරන බවත් ඊට හොඳම විසඳුම මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදනය කිරීම බව ද පෙන්වා දුන්නේය.
රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ අවශ්‍ය නිවැරදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙසත්අක්ෂි කාච, ස්ටෙන්ත්, සිරින්ජර් වැනි උපකරණ කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරන ලෙසට ද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මීට අමතරව ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් සිදු කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අනුව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ජා කර ක්‍රමවේදය කඩිනම් කිරීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසට ද උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) වයි.එල්.එම්. නවාවි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.කේ. හේරත්, එම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න