උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් පසුගිය වසරේ උසස් ලෙස ප්‍රතිඵල ලබා ගත් සිසුවකු පිළිකා රෝගී තත්ත්වයක් නිසාවෙන් මියගිය පුවතක් පාදුක්ක වේවැල්පනාව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පාදුක්ක වේවැල්පනාව අංක 205/2 ලිපිනයේ පදිංචිව සිටි යොහාන් මිෂායෙල් දෙව්තිළිණ සිසුවා 2013 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 182ක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත්ව කොළඹ ඩී.එස්.සේනානායක විදුහලට ඇතුළත්ව එහිදී ද අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 09ක් ලබා උසස් ලෙස සමත්ව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට කටයුතු කර ඇත.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටියදී උසස් පෙළ විභාගයට මාස හයකට පෙර යොහාන් මිෂායෙල් දෙව්තිළිණ සිසුවා හදිසි අසනීප තත්ත්වයට පත්වන අතර ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුකළ පරීක්ෂණවලට අනුව යොහාන් අස්ථී පිළිකා රෝගය වැළඳී ඇතැයි අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් දැඩිලෙස කම්පනයට පත්වන යොහාන් කෙසේ හෝ අනාගතයට මුහුණ දෙන අටියෙන් එතැන් සිට නිවසේ සිට තම අධ්‍යාපන කටයුතු දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිදුකරගෙන ගොස් උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 02 ක් සහ සී සාමාර්ථයක් සමඟින් උසස් පෙළ විභාගය උසස් අයුරින් ඉහළින්ම සමත්ව ඇත.
උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබීම නිසාවෙන් යොහාන් සිසුවා ඒ පිළිබඳව උද්යෝගයෙන් සහ මහත් අපේක්ෂාවෙන් පසුවූ අතර, ඔහුගේ අපේක්ෂාව වී තිබුණේ නැවත වරක් උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් උසස් ලෙස සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍යවරයකු බවට පත්ව පිළිකා රෝගීන් ඉන් මුදවා ගැනීම බව ඔහුගේ මව වන කුමාරි ධම්මිකා මහත්මිය පැවසුවාය.
නමුත් යොහාන්ගේ එම සියලු අපේක්ෂාවන් පමණක් නොව තම දෙමාපියන් නෑ හිතමිතුරන් සියල්ල හැරදා යාමට යොහාන්ට සිදු වූයේ පිළිකා රෝගී තත්වය හදිසියේම උත්සන්නවීම නිසාවෙනි.
ඉකුත් 12 වන දින රාත්‍රි නිවසේ සිටියදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති අතර මවුපියන් විසින් කඩිනමින් ඔහු අපේක්ෂා රෝහලට රැගෙන යමින් සිටියදී රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වීම නිසා ආසන්නයේම තිබූ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යොහාන් සදහටම දෑස් පියාගෙන ඇත.
යොහාන්ගේ හදිසි වියෝවත් සමඟ එය දරාගත නොහැකිව ඔහුගේ මව වන කුමාරි ධම්මිකා මහත්මියද දැඩිලෙස කම්පනයට පත්ව ඇත. පෞද්ගලික අංශයේ ආයතනයක රැකියාවේ නිරත යොහාන්ගේ පියාද තම පුතුගේ අභාවය නිසාවෙන් මහත් වික්ෂිප්තව ඇත. යොහාන්ගේ එකම සහෝදරිය ද හැඬූ කඳුළිනි.
නිෙවසේ කිසිවෙකුට කිසිවක් අමතකව සිටි මෙහොතේ යොහාන් පිළිබඳව හඬ අවදි කළේ ඔහුගේ සමකාලීන පාසල් මිතුරෙකි. එයා අන්තිම කාලේ ගොඩක් සතුටින් හිටියේ කවුරු හරි එයාව හොඳ කරයි කියලා. එයාගේ ටාගට් එක වෙලා තිබුණේ ආපහු ඊළඟ පාරත් උසස් පෙළ ලියලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් පිළිකා රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් වී රෝගීන්ට පිහිට වීමයි. එයා නිකං ඉන්න වෙලාවට යූටියුබ් එකෙන් පිළිකා රෝග පිළිබඳව ගොඩක් දේ අධ්‍යයනය කළා. පිළිකා රෝගය සම්බන්ධයෙන් හා ප්‍රතිකාර සම්බන්ධයෙන්. මගෙ පාසල් මිතුරාගේ හදිසි වියෝව මටත් දරා ගන්න අමාරුයි.
මවුපියන් සහෝදරිය ඥාතීන් පාසල් මිතුරන් අසල්වාසීන් ගම්වාසීන් සියලුම දෙනාගේ සෝ සුසුම් මධ්‍යයේ යොහාන් මිෂායෙල් දෙව්තිළිණගේ අවසන් කටයුතු හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු කරන ලදි.
මීගොඩ – බී.කේ කත්‍රිආරච්චි