ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් කාර්යාලය පැවැත් වූ ඡායාරූප තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් පි. උලගරාජන් පාසල් දැරිය වෙත සහතික පත හා මුදල් ත්‍යාග නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා විසින් ලබා දුන් අයුරු.
මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැඟිලි අයැදුම්පත්‍ර අනුමත කිරීමේ ක්‍රමවේදය පළාත් පාලන ආයතන වෙත හඳුන්වාදීම උතුරු පළාතෙන් ඇරැඹේ.
පළමු අදියර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34ක් සඳහා මේ ක්‍රමවේදය හඳුන්වා දුන් අතර දිවයිනේ සෙසු පළාත් පාලන ආයතන සඳහා කඩිනමින් එය හඳුන්වා දීමට නියමිතය.
ලෝක නගර සැලසුම් දිනය නිමිත්තෙන් යාපනය, උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේ පෙරේදා (13) පැවති උත්සවයකදී මේ ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කෙරිණි.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නැංවේ.
මේ ක්‍රමවේදය මඟින් ගොඩනැඟිලි සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙයි. පළාත් පාලන ආයතන වෙත මේ (online) තාක්ෂණය හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ ගොඩනැඟිලි අයැදුම්පත් අනුමත කිරීමට ගතවන කාලය අවම කිරීම හා සරල කිරීම හරහා වැඩි සේවාවක් ලබාදීමයි.
වර්ග අඩි 9000කට වැඩි ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. වර්ග අඩි 9000 ට අඩු නම් ඊට අනුමැතිය ලබාදීම අදාළ පළාත් පාලන ආයතනය විසින් සිදුකරයි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැඟිලි අයැදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබාදීම මේවන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරයි. එය ආරම්භ කෙරුණේ 2017 වසරේදීය.
විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැඟිලි අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට එය අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලබා දීමට හැකිවේ. එමගින් විනිවිදභාවය වැඩිකිරීමෙන් වංචා දූෂණ අවම කිරීමට හැකිවනු ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් කාර්යාලය විසින් ඡායාරූප තරගාවලියක් සහ සහ පාපැදි සවාරියක් සංවිධානය කොට තිබු අතර එහි ජයග්‍රාහයකයන්ට සහ සහභාගි වූ පාසල් ළමයින්ට සහතික පත්‍ර ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය සූම් තාක්ෂණය ඔස්සේ මේ සඳහා සම්බන්ධ වූ අතර උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, උතුරු පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩි.බි.එස්.කේ. දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කේ. ජීවගන් මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් දූ දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
උපාලි කරුණාරත්න