බමුණ, මේ සතර දහම්හු කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්‍යාණමිත්තතාය, සමජීවිකතා යි. බමුණ, සමජීවිකතා කවර: බමුණ, මෙලොවේහි කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි, මෙසේ මාගේ අය තෙමේ වැය මැඬගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඬගෙන නො සිටුනේ ය කියා යි.
උජ්ජය බමුණ වෙත භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ බැව් සූත්‍ර පිටකයේ අංගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයට අයත් ගෝතමී වග්ගයේ උජ්‌ජය සූත්‍රයේ සඳහන්ය. පෙරේදා මධ්‍යහනයේ ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය කතාවේ පදනම සමජීවිකතාවයය. රෝල ගසාගෙන යන සමාජයට මෙන්ම ආර්ථිකය බංකොලොත් වූ රටකට ‘වැඩේ ගොඩ දාගන්නේ කොහොම දැයි’ තනි වචනයෙන් කියන්නේ නම් ඒ වූ කලී සද්ධර්මයේ සඳහන් සමජීවිකතාවයමැ වේ. එහෙම කිවුවාට මේ රටේ හුදී ජනයා ඒ වියදම් කිරීමේ රටාවේ තැබිය නොහැකිය. ලෝන් එකක් දමන්නේ ආයෝජනයක් සඳහා නොවේ, දවසේ වියදම් සඳහාය. ඔහොම පවුලක් පවුලක් ගානේ ණය වූ විට දෙකෝටි විසිලක්ෂයෙන් සියයට අනූවක් විතරම වටේට ණයය. එහෙම හැම එකාම ණය වූ කල්හි, රටේ ශේෂ පත්‍රය ධන වන්නේ නැත. රට කියන්නේ මහපොළව, කඳු බෑවුම් තැනිතලා, ගංගා ඇළ දොළ ආදිය පමණක් නොවේ. අය වැය වැනි මානව ක්‍රියාකාරම්හිදී ජනතාවගේ ප්‍රයාමය සටහන් වන්නේ රටේ ක්‍රියාකාරකම ලෙසය.
රටේ කතාව ද සාර්ව ආර්ථික තියරිය අනුව ගත් කල අවුරුදු හැටකට වැඩි ණය ගේමකි. නිදහසින් පසු අය වැය හිඟයකින් තොරව අතිරික්තයක් ද පෙන්නුම් කරමින් ඉදිරිපත් කළ එකම අය වැය ලේඛනය 1952 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය වැය ලේඛනයය. එදා අය වැයේ අතිරික්තය රු. ලක්ෂ 16කි. ඔහොම බජට් හැමදාම නැත. ඉතිරි හැම අය වැයක්ම, ණය කරණ කොටගෙනම පැවතියේය. ඒ කියන්නේ අපි මිස් කර ගත්තේ සමජීවිකතාවය බවය. රටක් ලෙසත් පවුලක් ලෙසත් තනි මිනිසෙක් ලෙසත් ‘සමජීවිකතාවය නැත’ කියන්නේ අණන සුඛය අහිමි බවය. ‘ණය නැතිව ජීවත්වීමේ සැපය’ සුගත්හු වදාළේ අණන සුඛය ලෙසය. අතට කීයක් හරි එන කොට ඒ සියල්ල අපි එදිනෙදා වියදම් සඳහා දරන්නෙමු. ආණ්ඩුවක පුනරාවර්තන වියදම් මෙනි. ආයෝජන ආදිය සඳහා මුදලක් යොදවන්නේ නොමැති හෙයින් සහ ඉතුරුම් රහිත ජීවන විලාසය හේතුවෙන් ආපදා අවස්ථාවක හෝ ආදායම් අඩු වූ විටක අප ‘සදා සොත්ති’ය. රට බංකොලොත්ය.
ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2023 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් මිලියන 91,561ක් දක්වා ඉහළ ගියේය. මේ මීට මාස අටකට පෙර ඉලක්කම්ය. සමස්ත දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 46,900ක් ද විදේශ ණය ඩොලර් මිලියන 36,090ක් ද මේ තුළ තිබේ. සහතික ණය අගය ඩොලර් මිලියන 3,506කි. මහ බැංකුවේ ණය ඩොලර් මිලියන 5,065කි. ඔහොම ණය කන්දක් ජනගහනයෙන් බෙදා ගෙන, පොඩි එකා බෑග් එක කරේ දාගෙන ඉස්කෝලේ යනවා වගේ අපිදු හැම තැනම ඇවිදින්නෙමු. නිදියන්නේ ද මේ ණය මල්ල ඇඟේ තියාගෙනය.
ප්‍රාථමික අය වැය හිඟයක් පවත්වා ගන්නවා කියන්නේ එය පියවීම සඳහා දිගටම ණය ගැනීමට සිදු වෙනවා කියන එකය. ඉතිරි වියදම් පියවා ගැනීම සඳහා රටකට වෙනත් මඟක් නැත. අය වැය අතිරික්තයක් නොමැත්තේ නම් ඒ කියන්නේ ගෙව ගෙවා තවත් ණය වෙනවා කියන එකය. ටිකක් ගෙවා වැඩියෙන් ණය වෙනවා කියන්නේ තවත් බර වැඩි වීමය. ණය බර සැහැල්ලු කිරීම සඳහා තවත් කොන්දේසියක් වන්නේ ණය සඳහා ගෙවන මූර්ත පොලී අනුපාතිකය ඉක්මවා යන මූර්ත ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමය.
උද්ධමනය තනි ඉලක්කමට ගෙන, ඒ පහළ මට්ටමේ ස්ථාවරව තබා ගත් වන, මූර්ත පොලී අනුපාතිකයකට සමානුපාතික ලෙස මූර්ත ආර්ථික වර්ධනයක් පැමිණෙන්නේය. මේවා පහසු ආර්ථික කාරණා නොවේ. ඒවා ආර්ථිකය හැකිළීම සඳහා ද බලපානා බැවින් රජයකට මේ අවස්ථාවේදී කළ හැක්කේ, ප්‍රාථමික අය වැය අතිරික්තය ස්ථාවර සහ ඉහළ මට්ටමක තබා ගැනීමය.
අය වැයක් සකසන හැම මුදල් ඇමැතිවරයාමැ ට්‍රයි එක දුන්නේ ඔය බැලන්ස් එක ගහගන්නටය. කර ගන්න බැරි වුණේ ද ඒ දෙයය. මේ අය වැය යනු කර ඔසවා බලන ගාණට හෝ රටක් ගෙන ආ කතාවකි. ආර්ථික අර්බුදය පසු පස්සේ පැමිණි දේශපාලන අර්බුදයෙන් හෙම්බත්වූ රටක, අය වැයක් කියවන ගාණට තබා ගැනීම ද හපන්කමක්ය. තව ටික දවසක් අර ගේම්කාරයෝ පාරේ ලැගගෙන හිටියා නම් පාර්ලිමේන්තුවේ ද පදිංචි වනවා ඇත. හරවා පහරදී ඒ රස්තියාදුකාරයෝ එළවා මේ ගානට රටක් ගෙන ඒම පහසු කාරණයක් නොවේ. දැන් වැඩේ ෆන්සන් වන්නේය. එහෙම රට ‘රන් වෙනවා’ කියන්නේ ‘ආ මඟ කෙටියි – යා යුතු මඟ දුරයි’ යන්නය, ළඟ නවා රටේ ආර්ථික ටාගට් ගැසිය නොහැක්කේය. ඩිරෙක් ටැක්ස් වැඩි කිරීම දියුණු ආර්ථිකයක ලක්ෂණයකි. අපිට පුරුදු, ඇති නැති හැම එකාටම වක්‍ර බදු ගසනා ක්‍රමයය. සබන් කැටේට, සීනි කිලෝවට බදු ගසනවාට වඩා, යමක් හම්බු කරන එකාගෙන් ගාණක් ගැනීම ආර්ථිකයේ පළල් ලක්ෂණයකි. එහෙම බද්දක් ගැසූ සැණින් ‘අපි රටින් යනවා’ යැයි ප්‍රොෆෙෂන්ස්ලා පාරට බසින්නාහ.
ඒවාට ද මුහුණ දිය යුතුය. රාජ්‍ය සේවක පඩි නඩි වසරෙන් වසර වැඩි කළ යුත්තේය. පැන්ෂන් එක ද වැඩි කළ යුතුය. අස්වැසුම වැනි පිං පඩි ද වැඩි කළ යුත්තේය. අය වැය පරතරය ඇති වන්නේ මේ වියදම් සහ ආදායම් අතර හිඩැස නිසාය. “සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් වැය වෙනවා. අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ආදී මහජන සුභසාධනය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 30ක් වැය වෙනවා. ඒ සමඟම රුපියල් බිලියන 220ක් ණය පොලී ගෙවීමට වැය වෙනවා. මෙම කාරණාවලට පමණක් වැය වන මාසික රාජ්‍ය වියදම රුපියල් බිලියන 383ක්. 2023 පළමු මාස 9 තුළ අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. රුපියල් බිලියන 168ක් හිඟයි. මේ හිඟය පියවන්න නම් තව තවත් ණය ගත යුතු වෙනවා.” කියා පෙරේදා අය වැය කතාවේ සඳහන් කළේ මේ කතාවය.
රට ගොඩගන්නවා කියන්නේ ඔය කාරණයටය. එහෙම නැතුව පාරේ ගේම් ගසා මේ වැඩේ ගොඩදාගත නොහැකිය. අය වැය කියන්නේ ඒ වැඩේට ප්ලෑන් එකය. එතැන් සිට අපි ගොඩ ඒමේ කතාව පටන් ගමු යැයි කියා අදට නිමියැ…