Home » අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුරු හමු වෙයි

අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුරු හමු වෙයි

-පළමුව හමු වූ පා කොටස ඔස්සේ කැණීම් මෙහෙයවති

by sachintha
November 15, 2023 1:01 am 0 comment

සෙල්ලම් බඩු ගෘහභාණ්ඩ කීපයක් ජංගම දුරකතනයක් සොයාගනී

නිවාස පහක පවුල් හයක සාමාජිකයන් 25කට ඥාති නි‍ෙවස්වල රැඳවුම්

බළන්ගොඩ, ගවරන්හේන, හොරංකඳුර ගමේ ඉකුත් 12 දා සවස සිදු වූ නායයෑමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගේම සිරුරු කැණීම් අතරතුරදී ඊයේ (14) සවස හමු වී තිබේ. එකම ස්ථානයක වැළලී තිබියදී මහත් පරිශ්‍රමක් දරා මේ සිරුරු ඊයේ (14) සන්ධ්‍යාවේ ගොඩ ගැනිණි.

අතුරුදන් වූ දැරියගේ පාදයක කොටසක් ඊයේ (14) දහවල් මතු වූ අතර, ඒ අනුව අදාළ ස්ථානය වැඩිදුරටත් කැණීමට ලක් කරන අවස්ථාවේ මේ සිරුරු සොයා ගැනීමට හැකි වී ඇත. පවුලේ ඥාතීන් විසින් මළ සිරුරු හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බළන්ගොඩ මූලික රෝහලට රැගෙන යෑම බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) දමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි.

සිරුරු ආසනන්යේ තිබී සෙල්ලම් බඩු හා ගෘහභාණ්ඩ කීපයක්ද ජංගම දුරකතනයක්ද හමු විය. දැරියගේ පාද කොටස මතු වීමත් සමඟ නාය යෑමෙන් ගසාගෙන විත් තිබූ විශාල කළු ගලකට යට වී මේ දැරිය සිටින බවට සැක කරමින් කැණීම් සිදු කෙරිණි.

මේ නායයෑමෙන් එකම පවුලේ පියා, මව සහ දියණියන් දෙදෙනා මෙසේ මිය ගොස් ඇති අතර, නිවෙසද සම්පූර්ණයෙන්ම පස්වලින් යට වී තිබේ. මෙසේ මිය ගියේ චමින්ද සුමිත් කුමාර (44) එස්. සිරියාවතී (40) තමෝදි (16) සහ විමල්සා (10) නමැති සිව් දෙනාය.

රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ කාර්ය මණ්ඩලය, යුද හමුදා සාමාජිකයෝ, බළන්ගොඩ පොලිසියේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව අතුරුදන් පිරිසගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

මේ අතර බඹරගල කන්දේ තවත් කොටසක් පෙරේදා (13) රාත්‍රියේ නාය යෑමට ලක් වූ බැවින් ගවරන්හේන ග්‍රාම සේවා වසමේ වැහින්තැන්න ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ස්ථානයට ආසන්නයේ නිවාස පහක පදිංචි පවුල් හයකට අයත් සාමාජිකයන් 25ක් ඉවත් කර, තාවකාලිකව ඥාති නිවෙස්වල රඳවා තැබීමට කටයුතු කර ඇතැයි බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ඊයේ (14) පැවසීය. එලෙස ඥාති නිවෙස්වල තාවකාලිකව රඳවා ඇති සමාජිකයන් අතර පාසල් යන දරුවන්ද කීප දෙනකු සිටින බවද ඒ මහතා කීවේය. හඟරන්ගල බඹරගල කන්ද කොටස් දෙකකින් දෙපසකට නාය ගොස් ඇතැයිද බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය. එක් කොටසක් නිවාස සහ තේ වතු තිබූ ප්‍රදේශයට නායගොස් තිබෙන අතර, එම කොටස කි.මී. 4ක් පමණ නාය ගොස් තිබේ. තවත් කොටසක් බඹරගල කැලෑව දෙසට කි.මී. 2ක් පමණ නායගොස් ඇත. විපතට පත් ජනතාවට අවශ්‍ය වියළි ආහාර බෙදා දීමට බළන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි නිමල් ගණිතගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන බව හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. මේ නාය යෑමට ලක්ව ඇති ප්‍රදේශය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ බවත්, එහි වාර්තාව මඟින් නායයෑමේ අධි අවදානම් කලාපයක් ලෙස නම් කර නිර්දේශ කිරීමක් සිදු කළොත් මේ පදිංචිකරුවන්ට ආරක්ෂිත ප්‍ර⁣දේශවලින් ඉඩම් දී නැවත පදිංචි කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා අනාවරණය කළේය.

මේ දිනවල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් තවත් නායයෑමේ සහ ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් මේ ස්ථානය නැරඹීමට නොයන ලෙස ජනතාවට දැනුම් දෙන බවද හේමන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඩ්‍රෝන කැමරාද උපයෝගි කරගෙන මේ නායයෑමේ අවදානම සම්බන්ධයෙන් පරීක්ෂණ

කරගෙන යනු ලැබේ.

බළන්ගොඩ විශේෂ – සම්පත් ප්‍රියනන්දන, කුරුවිට – කේ.ඒ. සුනිල්, කහවත්ත – නිරෝෂණ පෙරේරා, ඇඹිලිපිටිය – කසුන් දර්ශන සමරවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT