ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 14.6ක පමණ පිරිසක් දියවැඩියා රෝගීන් ලෙස වාර්තාවන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.
එසේම ඔහු සදහන් කරනුයේ මෙරට අවුරුදු 20ත් 70ත් අතර වයස් කාණ්ඩයේ සිටින පාර්ශ්වයන් අන්ධභාවයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ යාමක් පවතින බවයි. දියවැඩියාව වැනි වැළැක්විය හැකි අන්ධභාවය තත්ත්වයන් හේතුකර ගනිමින් මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් ගොදුරුවන බව විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අදට(14) යෙදී ඇති ලෝක දියවැඩියා දිනය පාදක කරගනිමින් ශ්‍රී ලංකා දෘෂ්ඨි විශේෂඥයින්ගේ සංගමය විසින් සංවිධාන කළ සම්මන්ත්‍රණ වැඩසටහනට එක් වෙමිනි. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එය පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවසුවේ සාමාන්‍යෙයන් දියවැඩියාව හේතුවෙන් සිදුවන අක්ෂි ආබාධ සදහා සිදු කරන එක් ශල්‍ය කර්මයක් සදහා රජය විසින් රුපියල් ලක්‍ෂ 03 හෝ ලක්‍ෂ හතරාමාරක පමණ මුදලක් වියදම් කරන බවයි. කෙසේ නමුත් නිසි වෛද්‍ය උපදෙස් නොසලකා හැරීම මත දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් රෝගියා විසින්ම උත්සන්න කර ගැනීම කණගාටුවට කරුණක් බව විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී විශේෂයෙන් වැළැක්විය හැකි අන්ධභාවය පිළිබඳ කොතලාවල ආරක්‍ෂක විශ්ව විදයාලයේ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය අරුණ ප්‍රනාන්දු මහතා ප්‍රධාන දේශනය සිදු කරන ලදි.
මෑතකාලීන දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන 537ක් සහ දකුණු ආසියා කලාපයේ මිලියන 90ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන බව 2022 අන්තර්ජාතික දියවැඩියා පෙඩරේෂනයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 2045 වනවිට මෙය මිලියන 151.5 දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන්ද අනුමාන කර තිබේ.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයකුටද දියවැඩියාව වැළඳී තිබේ. එය 31%ක ප්‍රතිශතයකි. 2019දී කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයකු දියවැඩියාවට ප්‍රතිකාර ගෙන ඇත.
එසේම සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය අනතුරු අඟවා ඇත්තේ මුළු ආසියාවේම දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට ශ්‍රී ලංකාව බවයි. ඉදිරි දශක කිහිපය ඇතුළත මිලියන ගණනින් ශ්‍රී ලංකිකයන් දියවැඩියාවට ගොදුරු වීම වැළැක්විය නොහැකි අතර, එයට අපේ සෞඛ්‍ය පද්ධතියට ඉදිරි වසර කීපය තිස්සේම මුහුණදීමට සිදුවන අනතුරක් බව එය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා දෘෂ්ඨි විශේෂඥයින්ගේ සංගමය මෙවර වැළැක්විය හැකි අන්ධභාවය පිළිබඳ සම්මන්ත්‍රණය හා අක්ෂි සායනය සංවිධාන කර තිබුණේ 10වැනි වරටය.
මෙහිදී විශේෂ වෛද්‍ය බිනර අමරසිංහ, වැළැක්විය හැකි අන්ධභාවය සඳහාවන වැඩසටහනේ ආරම්භක සභාපති ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ අනුර රාජකරුණා, ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ චානක වීරසුන්දර, පෝෂණවේදිනී මධුෂිකා ගුණතිලක මෙනවිය ඇතුළු පිරිසක් ද දේශන පැවැත්වීය.
BMI ශරීර ස්කන්ධ දර්ශක පරික්‍ෂාව, ඇසේ වියලීම පරීක්‍ෂණ, ඇසේ සුද රෝගීන් හදුනාගෙන නොමිලේ ශල්‍ය කර්ම කිරීමට යොමු කිරීම, ඇසේ පීඩනය පරික්‍ෂාව, දියවැඩියා රෝගීන්ගේ දෘෂ්ටි විතානයේ ඡායාරූප ලබා ගැනීම, සංකූලතා ඇති රෝගීන් විශේඥ වෛද්‍යවරු වෙත යොමු කර ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව සැලසීම ඇතුලු පරික්‍ෂණ ගණනාවක් මෙහිදී සිදු විය.