Home » අගමැති රටවල් 10 ක තානාපතිවරු හමුවෙයි

අගමැති රටවල් 10 ක තානාපතිවරු හමුවෙයි

by yasara
November 14, 2023 12:22 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ප්‍රදර්ශනය කරන ලෙසත්, ආයෝජන සහ හවුල් ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට නව මුලපිරීම් ගන්නා ලෙසත් ය.

අපගේ අවධානය යොමු වන්නේ වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමයි. ඔබ නිරන්තරයෙන් සත්කාරක රජයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන, ප්‍රමුඛ ආයෝජකයින් සහ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සමඟ සම්බන්ධ විය යුතුයි. ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු අතර එය හුදෙක් සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව ප්‍රධාන වශයෙන් ආයෝජන සහ වෙළඳාමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුව තිබේ. අනෙකුත් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට තමන්ගේම ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකිය. 

ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට  නව ජාලයක් ගොඩනැගීම සඳහා සත්කාරක රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් සංවිධාන සහ එම රටවල සිටින ශ්‍රී ලංකාවට හිතවත් වැදගත් මිතුරන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (පාකිස්ථානය), එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ (නේපාලය), ක්ෂෙනුකා සෙනෙවිරත්න (ඉන්දියාව), අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (කියුබාව), සත්‍යජිත් රුද්‍රිගෝ (ඉතාලිය), මධුරිකා වෙනින්ගර් (ඊජිප්තුව), ධර්මපාල වීරක්කොඩි (බංග්ලාදේශය), සෙනරත් දිසානායක (සිංගප්පූරුව) සහ චන්දන වීරසේන (බෙල්ජියම සහ යුරෝපා සංගමය) අලුතින් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස අග්‍රාමාත්‍යවරයා හමුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජනාධිපති ලේකම් අනුර දිසානායක, උපදේශක සුගීස්වර සේනාධිර, විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මොහොමඩ් ජවුහාර් සහ අධ්‍යක්ෂ ජනරාල් විජයන්ති එදිරිසිංහ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT