Home » කෝලිගේ ශුද්ධ වත්කම රු. කෝටි 5903 දක්වා ඉහළට

කෝලිගේ ශුද්ධ වත්කම රු. කෝටි 5903 දක්වා ඉහළට

by mahesh
November 10, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වමින් සිටින ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ශුද්ධ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5903ක්) දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහුට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ගෙවන ඉන්දිය රුපියල් කෝටි 1.3ක මාසික ආදායම ද ඊට ඇතුළත්ය. මේ මූල්‍ය වටිනාකම දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළම අගය වේ. 35 හැවිරිදි විරාත් කෝලිට ටෙස්ට් තරගයක් සඳහා තරග ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් හිමි වන අතර, එක්දින තරගයකදී රුපියල් ලක්ෂ 6ක් සහ විස්සයි 20 තරගයකදී රුපියල් ලක්ෂ 3ක් ඉන්දීය ක්‍රිකට් ආයතනය ගෙවයි. එසේම, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) ගිවිසුමෙන් කෝලි වාර්ෂිකව රුපියල් කෝටි 15ක් උපයා ගනී.

කෝලි ව්‍යාපාර සන්නාම 18කට අධික ප්‍රමාණයක පෙනී සිටින අතර, එක් වෙළෙඳ දැන්වීමක් රූගත කිරීම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 8 සිට 10 දක්වා ගාස්තුවක් අය කරයි. එය බොලිවුඩ් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුද්ගලයෙක් විසින් වැඩිම මුදල් අය කිරීමකි. එවැනි සන්නාමවලින් ඔහු රුපියල් කෝටි 175ක් පමණ උපයයි. ඉන්ස්ටර්ග්‍රෑම් හා ට්විටර් සමාජ මාධ්‍යවල, පළකිරීමක් සඳහා පිළිවෙළින් ඉන්දීය රුපියල් කෝටි 8.9ක් සහ ඉන්දීය රුපියල් කෝටි 2.5ක් අය කරයි.

මුම්බායිහි (ඉන්දීය රුපියල් කෝටි 34ක) හා නවදිල්ලියේ ගුරුග්‍රාම් නගරයේ (ඉන්දීය රුපියල් කෝටි 80ක) කෝලිගේ නමින් නිවාස දෙකක් ඇති අතර, ඉන්දීය සුපර් ලීග් තරගාවලියට තරග කරන ටෙනිස් කණ්ඩායමක් සහ මල්ලවපොර කණ්ඩායමක් වෙනුවෙන් ඔහු මුදල් ආයෝජනය කොට ඇත. ඉන්දියාවේ ප්‍රධානතම පාපන්දු කණ්ඩායමක් වන ගෝවා පාපන්දු සමාජයේ හිමිකරු වන්නේ ද විරාත් කෝලිය.

ඔහු ව්‍යාපාර ආයතන හතක් සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර, බ්ලූ ට්‍රිබ්, යුනිවර්සල් ස්පෝර්ට්ස්, එම්පීඑල් හා ස්පෝර්ට්ස් කොන්වෝ එයින් කිහිපයකි. කෝලිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 252කට අධික අනුගාමිකයෝ සිටිති. විරාත් කෝලි මෝටර් රථ එකතු කිරීමට බොහෝ කැමැත්තක් දක්වන හෙයින් ඉන්දීය රුපියල් ලක්ෂ 75 සිට කෝටි 3 දක්වා වූ මෝටර් රථ සමූහයක් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT