කොට්ටාව සහ මාලබේ පොලිස් වසම්වල නිවාස දෙකක් බිඳ රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපොළ තොගයක් සොරාගත් හිටපු විශේෂ කාර්ය බළකා සෙබළෙකු ඊයේ (09) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
කොට්ටාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ මැණික් ගල් තොගයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
මේ පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාසය මගින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප බුද්ධික චතුරංග මහතාට ලද තොරතුරක් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා දැනුම්වත් කොට ලබාදුන් උපදෙස් මත කොට්ටාව පස්මන් හන්දිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකර තිබුණි.
පස්මන් හන්දිය අසල කැලෑ රොදක් සැකකටයුතු ලෙස සෙලවෙමින් තිබියදී ඒ දෙස විපරම් කළ පොලිස් නිලධාරීන් දුටු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොට්ටාව හා මාලබේ පොලිස් වසම් දෙකක සොරකම් දෙකක තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව කොට්ටාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක ආරක්ෂක නියාමකවරයාගේ ඔත්තුවකට නිවැසියන් කතරගම වන්දනාවේ ගිය අවස්ථාවකදී නිවස බිඳ සුරාගෙන තිබූ මැණික් ගල් හතළිස් හයක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මාලබේ ප්‍රදේශයේ නිවසකින් සොරාගත් ගෑස් සිලින්ඩරයක්, අත් ඔරලෝසු දෙකක්, එල්. ඊ. ඩී. රූපවාහිනි යන්ත්‍රයක්, රන් මාලයක් හා පෙන්ඩනයක් මහරගම රන් භාණ්ඩ අලෙවි සලකට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ.
පොලිස් භාරයට ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහළොවකට අධික බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු විශේෂ කාර්ය බළකායේ සෙබළකු ලෙස වසර 11ක සේවය කොට ඉන් ඉවත් වූ පුද්ගලයකු බවත් අධික ලෙස හෙරොයින් පානයට සැකකරු ඇබ්බැහිවීම නිසා මෙසේ සොරකම් වලට පුරුදු සිට ඇති බවත් පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු තලංගම සහ මාලබේ පොලිස් ස්ථාන වලින් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ අයෙකි.