Home » ඉන්දීය චීන මෙරට මහ කොමසාරිස් සහ තානාපති පුරප්පාඩු පිරවීම කඩිනම් කරන්න

ඉන්දීය චීන මෙරට මහ කොමසාරිස් සහ තානාපති පුරප්පාඩු පිරවීම කඩිනම් කරන්න

මන්ත්‍රී නාමල්ගෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්

by mahesh
November 10, 2023 12:58 am 0 comment

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

ඉන්දියාවේ සහ චීනයේ මෙරට මහ කොමසාරිස්වරයකු සහ තානාපතිවරයකු සඳහා පුරප්පාඩු පවතින බැවින් එම තනතුරු සඳහා සුදුසු සහ ස්ථිර අය පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා (07) උපදෙස්දී ඇත.

ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන ඉන්දියාව සහ චීනය සඳහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදු විය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කරන ලෙස ද කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.

විදෙස් තානාපති කාර්යාලවල සේවය කිරීමට අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව නොසිටීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. සීමාවාසික පුහුණුව ලබන්නන් 25 දෙනකු බඳවාගෙන ඇති බවත්, ඔවුන් අමාත්‍යාංශයේ සේවය සඳහා යොදවා ඇති බවත් මෙහිදී අනාවරණය වූ අතර, එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දීම සිදු විය.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර පවතින වෙළෙඳ සබඳතා පිළිබඳව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මෙහිදී අදහස් දැක්වූ අතර, ඉදිරිපත් කිරීමක් ද (Presentation)සිදු කරන ලදී. ආසියානු රටවල් සමඟ ශ්‍රී ලංකාව පවතින වෙළෙඳ ගිවිසුම් සහ ඒවායේ සාධනීය වර්ධනයන් සඳහා අවශ්‍ය මැදිහත්වීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මේ අතර ශ්‍රී ලංකාවේ සහ ඊජිප්තුවේ ද්වි-පාර්ශ්වික සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ මහතා මේ අවස්ථාවට ස්වේච්ඡා පදනමින් සහභාගි විය. ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව වසර ගණනාවක් මුළුල්ලේ ඉතා හොඳ මිත්‍රත්වයකින් කටයුතු කළ බවත්, ඉදිරියේදී වෙළෙඳ, ආයෝජන, තාක්ෂණය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ද්වි-පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් තානාපති මජීඩ් මොස්ලේ මහතා පැවැසීය.

ඊජිප්තුවේ සාර්ථකව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබඳව ද හඳුන්වා දුන් තානාපතිවරයා දෙරටේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙන් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ජාත්‍යන්තර ප්‍රදර්ශන, පරිසරය සම්බන්ධ කමිටු, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය ආදී ක්‍රමවේද ඔස්සේ දෙරට අතර සබඳතා තර කර ගැනීමේ අවශ්‍යතාව තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කාරක සභා සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්, නිරෝෂන් පෙරේරා, නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, ශානක්කියන් රාසමානික්කම්, ආචාර්ය හරිනි අමරසූරිය මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ද මේ අවස්ථාවට එක් විය.

මේ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT