මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 78ක් උපයා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
මෙරට තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළෙහි ඉහළ ඉල්ලුමක් පවතින අතර, විශේෂයෙන් මෙරට නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩාවේ ඉහළ ඉල්ලුමක් පවතී.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය කෙරිණි. එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබූ උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.
දැනට අප රටේ තල් ගස් මිලියන 11ක් තිබුණත්, එයින් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවත්, තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීමටත් එයින් ආර්ථික වාසි ගැනීමටත් කටයුතු කළ යුතු බවත්, ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් දීම තල් සංවර්ධන මණ්ඩලයෙන් අරඹා ඇති බවත් එම මණ්ඩලයේ සභාපති, ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා ඇමැතිවරයා හමුවේ අවධාරණය කළේය.
පසුගිය වසර හතරේ අලුතින් තල්ගස් ලක්ෂ 02ක් රෝපණය කිරීමට පියවර ගත් බවත්, කිසිදු රසායනික පොහොර හෝ වස විසෙන් තොරව වැඩෙන තල් ගසින් සකස් කර ගත හැකි ආහාර අලෙවි ස්ථාන රැසක් තල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වයෙන් මේ වන විට පවත්වාගෙන යන බවත් සභාපතිවරයා මෙහිදී ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා පැවැසුවේ මෙරට තල් ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්තය මෙන්ම ගෘහස්ථ උපකරණ නිෂ්පාදන කර්මාන්තය සඳහා ඊට උනන්දු වන්නට වැඩිදුර පුහුණුවක් දීම සිදු කළ යුතු බවත්, එම පිරිස් මේ කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට වැඩසටහන් සකස් කරන්නැයි ද තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන් බවත්ය.
තල් සංවර්ධන මණ්ඩලය යටතේ පවත්වන පුහුණු වැඩසටහන් සඳහා පුහුණුලාභීන් 30 දෙනකුට බඳවා ගැනීමේ ලිපි පිරිනැමීම ද මෙහිදී ඇමැතිවරයා විසින් සිදු කරන ලදි.