අප්‍රේල් 20 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගත් ඊබ්‍රහිම් හා මුබාරක් යන දෙදෙනා කාමර ගාස්තු ගෙවූ පසු ඔවුන්ගේ ගමන් මලු ගෙන යන ලෙස මා අදාළ සේවකයන්ට දැන්වූව ද ඔවුන් එම සේවය ගත්තේ නැති බව ෂැංග්‍රිලා හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා කොළඹ මහාධිකරණය ඉදිරියේ සාක්කි දෙමින් පෙරේදා (08) පැවසීය.
කාමර වෙන් කිරීමේදී තමන් ඔවුන්ගෙන් විද්‍යුත් ලිපිනයක් ඉල්ලා සිටි බවත් ඔවුන් එය දීම ප්‍රතික්ෂේප කර දුරකතන අංකයක් පමණක් දුන් බවත් සාක්කිකරු කීය. යුගල කාමරයක් ඔවුන් ඉල්ලා සිටි බැවින් එහි ගාස්තුව රුපියල් හතළිස් එක්දාස් හයසිය එකොළහක් බව තමන් දැන්වූ බවත් කාමර ගාස්තුව පමණක් ගෙවා සිටි බැවින් උදෑසන ආහාරය ගැනීමට අදහස් කරන්නේ ද යනුවෙන් තමන් විමසූ බවත් එවිට එම මුදල ද ගෙවා දැමූ බවත් සාක්කිකරු වැඩිදුරටත් කියා සිටියේය.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති), අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැඳුම්ලත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණි.
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා ෂැංග්‍රිලා ඇතුළු සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ 2021 වසරේ අගෝස්තු 10 වැනිදා නීතිපතිවරයා විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධි චෝදනා භාර දෙන ලදී. නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මියගොස් ඇති බව පසුව අනාවරණය විය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා මෙසේ කීය.
මම ඔවුන් දෙදෙනාගෙන්ම හැඳුනුම්පත් ඉල්ලා සිටියා. එවිට ඊබ්‍රහිම් නැමැති අය හැඳුනුම්පත හා මුබාරක් රියැදුරු බලපත්‍රය දුන්නා. ඔවුන්ගේ මුහුණු හැඳුනුම්පත් සමඟ සැසඳුණා. මම එහි විස්තර පද්ධතියට ඇතුළත් කළා. ඔවුන් විනාඩි 10ක් පමණ මා සිටි ස්ථානයේ රැඳී සිටියා. කාමර ගාස්තුව දැන් වූ විට නිල් පාට ටී ෂර්ටයක් ඇඳ සිටි තැනැත්තා ඔහුගේ බෑගය විවරකර මුදල් ගෙන රතු පාට ටී ෂර්ටයක් ඇඳ සිටි තැනැත්තාට මුදල් දුන්නා. ඔවුන් දෙදෙනාගෙන් කාමර වෙන්කිරීම කළේ රතු පාට ටී ෂර්ටයක් ඇඳ සිටි තැනැත්තා නිසා ඔහු දෙදෙනාගෙන් ප්‍රධානියා බව මට සිතුණා. ඔවුන් 6 වැනි මහලේ පිහිටි 616 කාමරය වෙන්කරත් පසු බිල්පත දී කාමරයට අදාළ විද්‍යුත් යතුරු දෙක දුන්නා.
පසුදා එනම් අප්‍රේල් 21 වැනි දා පාන්දර 4.30ට මගේ රාජකාරි අවසන් වුණා. ඉන්පසු මම නිවෙසට ගියා. දහවල් මට ලැබුණ දුරකතන ඇමතුමකින් ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව දැන ගත්තා. ඉන්පසු මට බොහෝ දුරකතන ඇමතුම් ආවා. යාළුවෝ මගේ සුවදුක් විමසා සිටියා. මම පිපිරීමෙන් පස්සේ දින කිහිපයක් වැඩට ගියේය නැහැ යැයි සාක්කිකරු කීය.
අනතුරුව 2,9,23 විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගසාලි හුසේන් මහතා හරස් ප්‍රශ්න විමසන ලදී. එහිදී පිළිතුරු දුන් සාක්ෂිකරු හෝටලයට නිතර පැමිණෙන තැනැත්තන්ගේ මුහුණු හා විශේෂිත තැනැත්තන්ගේ මුහුණු තමන්ට මතක සිටින බව කීය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, ශක්ති ජාගොඩ ආරච්චි ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.
අගතියට පත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් සිල්වා ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටීයහ. අගතියට පත් තවත් පාර්ශ්වය වෙනුවෙන් නිතිඥ සුරේන්ද පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටිති.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, රුෂ්ඩි හබීබ්, ගසාලි හුසේන්, අසඩ් මුස්තාපා, ඉමිටියාස් වහාබ්, රිස්වාන් උවයිස්, වසීම් අක්‍රම්, ඉසුරු දේවප්‍රිය, නදීශා කන්නන්ගර ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටිති.