Home » ශිෂ්‍යත්ව විභාගය ලියන්න මුලතිව් සිසුවාට පාසලේ පාලනාධිකාරිය අවසර දී නෑ

ශිෂ්‍යත්ව විභාගය ලියන්න මුලතිව් සිසුවාට පාසලේ පාලනාධිකාරිය අවසර දී නෑ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මවුපියන්ගෙන් පැමිණිලි

by mahesh
November 10, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

එළැඹෙන වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අයැදුම්පත් යොමු කළ මුලතිව් කොම්බාවිල් පාසලේ සිසුවකුට පාසලේ පාලනාධිකාරිය විභාගය ලිවීමට අවසර දිය නොහැකි බවට ප්‍රකාශ කැර තිබේ.

මේ සම්බන්ධව සිසුවාගේ මවුපියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙරේදා (08) පැමිණිලි කැර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මුලතිව් කාර්යාලයට මෙම මවුපියන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තම පුතා ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් යැවීමෙන් පසුව හදිසියේ වැලඳුණු හෘදයාබාධයක් නිසා කපාට සැත්කමකට භාජනය කළ බවයි.

මේ හේතුව මත දින 42ක් පාසල් යෑමට තම පුතාට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා පාසලට ඉදිරිපත් කළ බවත් ඔවුහු කියති.

තත්ත්වය එසේ තිබියදී මේ සතියේදී පාසලේ ගුරු මණ්ඩල සාකච්ඡාවකදී තම පුතාට විභාගය ලිවීමට ඉඩ ලබාදිය නොහැකි බවට තීරණය කර ඇතැයි ද ඒ නිසා පන්ති භාර ගුරුවරිය විසින් විභාගයට පෙනී නොසිටින බවට සිසුවාගෙන් ලිපියකට ද අත්සන් ලබාගෙන ඇතැයි ද මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරිය මීට වසර දෙකකට ඉහතදී මෙම පාසලෙන්ම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 167ක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කරදුන් අතර, මෙවර විභාගයට මුහුණදීමට සිටින සිසුවා ද මෙතෙක් පාසලෙන් පවත්වන ලද විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට සියයට 70 ඉක්මවා ලකුණු ලබාගෙන ඇති බවද මවුපියෝ පවසති.

පසුගිය සතියේ පවත්වන ලද පෙරහුරු පරීක්ෂණයකදී ලකුණු 70 කට වඩා අඩුවෙන් ගැනීම මත විදුහලේ බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවත් එය ඉතා අසාධාරණ තීරණයක් බැවින් තම පුතාට මෙවර ශිෂ්‍යත්ව විභාගය ලිවීමට අවසර ලබාදීමට මැදිහත් වන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා යම් අසාධාරණයක් එම සිසුවාට සිදුව ඇත්නම් ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT