මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.
චිත්‍රසිරි වාර්තාව පදනම් කර ගනිමින් පනතක් සකස් කර ඇති බවත් එය දේශපාලනයෙන් තොර බවත් ඇමැතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන ඒකාබද්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයට මෙරට විශාල ජනබලයක් ගොඩනැඟී තිබෙනවා. මේ යෝජනාව සම්මත කරන්නේ රටේ ජනතාවගේ ජනමතයට ගරු කිරීමක් වශයෙන්. ඒ මිසක් අපට වෙනත් නීත්‍යනුකූල අයිතියක් නැහැ. මේ ජනමතය ජනගත කරනවා පමණක් නොව, අනවශ්‍ය දේවල් නොකර කරුණාකර ඉල්ලා අස්වෙන්න කියලා මේ බෝඩ් එකට අපි පණිවිඩයක් දෙනවා. මෙවැනි දේවල් ඉදිරියේ දී සිදු නොවන්නට පියවර ගත යුතුයි. දේශපාලන බලපෑම්වලින් තොර ක්‍රිකට් බෝඩ් එකක් නිර්මාණය කළ යුතුයි. චිත්‍රසිරි වාර්තාව අනුව එය පදනම් කරගෙන අපි දේශපාලනයෙන් තොර පනතක් හදා තිබෙනවා. ඇමැතිවරයාටවත් එහි බලතල නැහැ. සිවිල් සමාජයට සම්පූර්ණ බලතල දී තිබෙනවා. ජනාධිපතිවරයා කෙටි දේශපාලනය ඔස්සේ යන කෙනෙක් නොවේ. කෙටිකාලීන දේශපාලන වාසි අපේක්ෂාවෙන් තොරව දිගු කාලීන අපේක්ෂාවන් ලබාගත හැකි ක්‍රමවේදයක් රජයෙන් හදලා දී තිබෙනවා. ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තියේ සඳහන් වන්නේ සංගමයේ නිලධාරියකුගේ හෝ සාමාජිකයන්ගේ දූෂණ විෂමාචාරය හෝ අක්‍රමිකතා සඳහා ප්‍රතිකර්ම යොදන ලෙසට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිත නියෝගයක් මත දැනුම් දීමක් කළ යුතුයි. එවැනි නීතියක් තිබෙනවා.