ශ්‍රී ලංකාව තුළ ස්ථාවර නිෂ්පාදන කර්මාන්ත නැති නම් රට ආර්ථික වශයෙන් අස්ථාවර වන බවත්, පසුගිය කාලයේ එහි අවශ්‍යතාව දැඩිව පෙන්නුම් කළ බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. දේශීය ඖෂධ නිෂ්පාදකයන් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකදී ඇමැතිවරයා ඊයේ (9) මේ බව ප්‍රකාශ කළේය.
ඖෂධ නිෂ්පාදකයන්ට පවතින ගැටලු පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඔවුන් අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් මේ සාකච්ජාව පැවැත්විණි. මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදන කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සහාය රජයක් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහටත් නොඅඩුව දීමට කටයුතු කරන බවයි. එහිදී ඒ සියල්ල පැහැදිලි විනිවිදභාවයකින් සිදු විය යුතු බවත් අවධාරණය කළ අමාත්‍යවරයා පියවරෙන් පියවර මෙය විධිමත් කිරීම ඉතා අත්‍යවශය කරුණක් බවත් තමන් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් මෙහි අවශ්‍යතාවය තමන්ට ද දැඩිව පෙනී ගොස් ඇති බවද පැවසීය.
එමෙන්ම ඖෂධ කර්මාන්තය පිළිබඳ මෙරට ජනතාව අතර තිබෙන ප්‍රතිරූපය යහපත් එකක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යවරයා දෙස ජනතාව අපහැදිලි කෝණයකින් බලන බවත්, තමාට අවශ්‍ය එම ප්‍රතිරූපය නිවැරදි හා පැහැදිලි කර දීම බවද පැවසූ අමාත්‍යවරයා විදේශ රටවලින් මෙරටට ඖෂධ ආනයනයට වඩා රට තුළ නිෂ්පාදනයෙන් විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කරගැනීමට හැකි වන බවද අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් ඖෂධ නිෂ්පාදනයෙන් විශාල ආදායම් ලබන බවද පෙන්වා දුන්නේය.
ඖෂධ නිෂ්පාදකයන් හට කළ යුතු ගෙවීම් නිසි ක්‍රමවේදයට අනුකූලව ගෙවීමට කටයුතු කරන ලෙසට මෙහිදී නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දුන් අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන් ගන්නා ඖෂධ ඇණවුම් කලට වේලාවට දීමෙන් ඖෂධ හිඟය මඟහරවා ගැනීමට හැකියාව පවතින බවත් නව ඖෂධ ලියාපදිංචි කිරීම් කරගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ ලියකියවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර ක්‍රමවේදයන්ට අනුකූලව අවශ්‍ය අනුමැතිය ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදකයන්ට දැන්වීය.
මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 15% – 20%ක ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කරන අතර, ඉතිරි සියල්ල විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. ඒ සදහා වාර්ෂිකව රජය ඩොලර් මිලියන 700කට අධික මුදලක් වැය කරයි. වාර්ෂිකව ඖෂධ වර්ග 1,347ක් මෙරටට ආනයනය කරනු ලබයි. ප්‍රමුඛතා ලේඛනය මත ඖෂධ වර්ග 862ක් රෝගි ප්‍රතිකාර සදහා යොදාගැනෙන අතර, එයින් ඖෂධ වර්ග 208ක් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබයි.
මේ අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්ම මහත්මීහු සහ දේශීය ඖෂධ නිෂ්පාදකයෝ පිරිසක්ද සහභාගි වූහ.