“රන් දෙවොලෙන්
බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන්
දෙයියෝ”
අයිවෝ ඩෙනිස්, සුනිල් එදිරිසිංහ ලක්ෂ්මන් විජේසේකර සහ දමයන්ති ජයසූරිය එක්ව ගායනා කරන මෙම ගීතය අන්තර්ගත වූයේ එච්. ඩී. ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද වර්ෂ 1986 දී තිරගත වූ “ආදර හසුන” චිත්‍රපටයේයි. මෙම ගීතයේ රචකයා අරිසෙන් අහුබුදු සූරීන් වන අතර සංගීතය රෝහණ වීරසිංහගේය. 1986 දෙසැම්බර් මස 05 වන දින වර්ණ චිත්‍රපටයක් ලෙසින් තිරගත වූ මෙහි තවත් ප්‍රේමණීය ගීතයක් වන්නේ ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ විසින් ගායනා කළ
‘සුදුමුතු රළ පෙළ
කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එළා’
යන ගීතයයි. සංගීත රෝහණ වීරසිංහගේ වන අතර පද රචනය කුලරත්න ආරියවංශගේය. අද ජාතික රූපවාහිනියේ සිනෙ ඡායා තුළින් විකාශය වන්නේ එච්.ඩී.ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයයි. චිත්‍රපටය සඳහා ජෝ අබේවික්‍රම, වසන්ති චතුරානි, රවීන්ද්‍ර රන්දෙණිය, ට්‍රිලීෂියා ගුණවර්ධන, මියුරි සමරසිංහ, වින්සන්ට් වාස්, නවනන්දන විජේසිංහ සහ ජෝ දඹුලුගල රංගනයෙන් සම්බන්ධ වූහ.
චිත්‍රපටයේ කතාව නිර්මාණය වී තිබෙන්නේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු හා ඔහුගේ රූමත් බිරිය වටාය. දිනක් තම සේවයෙන් ඉවත් වුණු හමුදා නිලධාරිවරයාට තම බිරිය පිළිබඳව සැක උපදවන ආකාරයේ කතාබහක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සැලසේ. එයට හේතුව වූයේ ඇයට තෑග්ගක් සහ ලිපියක් නන්නාඳුනන පණිවුඩකරුවකු ගෙනත් දීමත් සමඟිනි. මෙම පණිවුඩකරුවා නවනන්දන විජේසිංහ වන අතර විශ්‍රාමික හමුදා නිලධාරිවරයා ලෙසින් චරිත නිරූපණයට සම්බන්ධ වන්නේ ජෝ. අබේවික්‍රමය. මේ පිළිබඳව සැකයෙන් ඔහු තම බිරියගෙන් විමසන මොහොතක ඇය පවසා සිටින්නේ තමන් කිසිවක් නොදන්නා බවත් තමා නිර්දෝෂි බවත් පමණි. හමුදා නිලධාරියාගේ බිරිය ලෙසින් චරිත නිරූපණය කරනු ලබන්නේ වසන්ති චතුරානිය. පවුල් ජීවිත තුළ රණ්ඩු සරුවල්, ආරවුල් ඇති බොහෝ විට බහුතරයක් දෙනා අඩිය ඔසවන ලාභදායි පියවරට හමුදා නිලධාරියාද පා එසවීය. ඒ ඔවුනගේ දික්කසාදයයි. ඔහු තම බිරියව දික්කසාද කරනු ලබන අතර සියලු බලාපොරොත්තු සුන් වී ගිය ඇය තම දිවි නසා ගැනීමට තීරණය කරයි. එහෙත් තම කැමැත්ත පරිදි එය සිදු කර ගැන්මට ඇයට නොහැකි වන්නේ අන්දිරිස් නමැත්තකු විසින් ඇයව ඉන් මුදාගෙන තම නිවෙසට රැගෙන යන හෙයිනි. මේ අතරවාරයේ හමුදා නිලධාරියා තමාට මුණගැසුණු ආකාරයත්, ඇය පදිංචිව සිටි ත්‍රස්තවාදී ප්‍රහාරයන් සහිත තම ගම්මානයෙන් මිදී පලා යන විට ඔහුව මුණගැසීමත් යන සිදුවීම් එකිනෙක සිහියට නැඟේ. කෙසේ හෝ අන්දිරිස්ලාගේ ගෙදරට පැමිණි ඇය තමා කෙරෙහි යළිත් උනන්දුවක් දක්වන්නකු සිටිනා බව හැඟේ. ඔහු ධනවත් වෙළෙන්දෙකි. හේ නමින් ගුණපාලය. ඇයගේ දෙවන විවාහය සිදු වන්නේ ගුණපාල සමඟය. ගුණපාලගේ චරිතය රඟදක්වන්නේ රවීන්ද්‍ර රන්දෙනියයි. එහෙත් කවර හෝ කාරණාවකට ඇය තම මුල් විවාහය බිඳීයෑමට හේතු වූ කරුණ සොයා ගනී. එනම් හමුදා නිලධාරියා හා තමා අතර පැවති ප්‍රේමය කඩා බිඳ දමා විවාහය සුනු විසුනු කර දමන්නට තරම් සමත් වූ පුද්ගලයා ගුණපාල බවය. එතැන් සිට ප්‍රේක්ෂකයා බලාපොරොත්තුව සිටින්නේ ගුණපාල සමඟ පැවති විවාහය ද අකුළා දමා නැවතත් ඇය සත්‍ය සමඟින් තම ප්‍රථම සැමියා වූ හමුදා නිලධාරිවරයා හමුවීමට යනතුරුය.
එය එසේ වේවිද? විවාහයට සිදු වන්නේ කුමක්ද? ගුණපාල යනු කවරෙක් ද? මේ සියල්ලට ඔබට ද පිළිතුරු සොයාගත හැකි වන්නේ අද ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘ආදර හසුන’ චිත්‍රපටය නැරඹීමත් සමඟිනි. එය ලාංකේය සිනමාවේ 637 වන අතර 1987 පැවති ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම සංස්කරණය, 1987දී පැවති 15 වැනි සරසවි සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය මෙන්ම, 1987 පැවැති 14 වැනි OCIC සම්මාන උලෙළේදී හොඳම කැමරා ශිල්පියාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත්විය. ටෙරන්ස් රාජපක්ෂ නිෂ්පාදනය කළ රීගල් චිත්‍රපට ඉදිරිපත් කළ ‘ආදර හසුන’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවතියේ ලිබර්ටි සිනමා ශාලාවේදීය.
චිත්‍රපටය විකාශයට කලින් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම සමඟ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි, ප්‍රවීණ සිනමා විචාරක ඒ. ඩී. රංජිත් කුමාර පවත්වනු ලබන සාහිත්‍ය විචාරය රාත්‍රි 9.30 ට ආරම්භ කෙරේ.