Wednesday, April 9, 2025
Home » මම ඉන්නේ ක්‍රිකට් පැත්තේ
මට එක එක පැති නෑ

මම ඉන්නේ ක්‍රිකට් පැත්තේ

ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් හමුවේ කියයි

by mahesh
November 10, 2023 1:00 am 0 comment

– පැලැස්තර විසඳුම් නැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි
– ක්‍රිකට් අර්බුදය විසඳන්න නම් චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන්න ඕනෑ
– ක්‍රිකට් විවාදය කාලෝචිතයි

තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පැලැස්තර විසඳුම් නැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු අතර ක්‍රිකට් අර්බුදය විසඳීමට නම් චිත්‍රසිරි වාර්තාව නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ (09) හමුවෙමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තරයෙන් කිසිදු බලපෑමක් නොවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ක්‍රිකට් වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය කාලෝචිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙර දිනයේදී පාර්ලිමේන්තුව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ සිදු කරන ලද සමහර ප්‍රකාශ ජනතාව අනුමත නොකරන බව ද කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

“මම ඇමැතිතුමාට නම් යෝජනා කළේ ‍මේ පිළිබඳ අධිකරණයට ගෙන ගියහොත් එය නවත්වන්න පුළුවන් වන නිසයි. ඒ වගේම අප මෙය කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කළා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් දැන් අධිකරණයට ගිහින් තිබෙන්නේ. ක්‍රිකට් සඳහා වඩාත්ම සුදුසු වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කළ යුතුයි. මේ සඳහා අතුරු කමිටු පත් කිරීම ප්‍රමාණවත් නොවන බව මට පේනවා. මේවා සියල්ල තාවකාලික විසඳුම්. සම්පූර්ණ නීති වෙනස් කිරීම ඊට වඩා සුදුසු වෙනවා.

ක්‍රිකට් ආරම්භ කළේ ජේ.ආර්. ජයවර්ධන සහ ගාමිණී දිසානායක යන මහත්වරුන්. පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමේ වගකීම ඒ කාලයේ මට භාර දුන්නා. එමඟින් තමයි අපේ පළමු කණ්ඩායම ඉදිරියට ආවේ. ඉන් අනතුරුවයි 1996 කණ්ඩායම බිහිවෙලා ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. ඒ නිසා අප නැවත ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. මම කිසිදු පාර්ශ්වයක් නියෝජනය කරන්නේ නැහැ. මට තියෙන්නේ එක පාර්ශ්වයයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ශ්වය පමණයි. එය දියුණු කරන්න බලධාරින්ට උපදෙස් දී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ ගැන ඊයේ කතා කර තිබුණා. එයින් බලපෑමක් නොවන්න අපි කටයුතු කරමු. අද ඉදිරිපත් කර ඇති මේ යෝජනාව සම්මත කර ගනිමු.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT