Wednesday, April 23, 2025
Home » කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකාවෙන් කෝටි 18,000ක් 

කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකාවෙන් කෝටි 18,000ක් 

by sachintha
November 9, 2023 12:02 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමේ ක්‍රියාදාමය සඳහා සහාය ලබාදෙමින් කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් කෝටි 18,000ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 553) මුදලක් ආයෝජනය කිරීමට අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව තීරණය කර තිබිණ.

කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව පවසයි.

උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බව මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමඟ ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බව ද තානාපති කාර්යාලය පවසයි.

අමෙරිකානු ඩොලර් මිලියන 553ක මූල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය පසුගියදා පැවැති අතර, ඒ අවස්ථාවට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

විදේශ ඇමැති අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක් වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT