නීති විරෝධි පිරමීඩ ගනුදෙනු සිදු කර සැකකටයුතු ගිණුම් පවත්වා ගෙන ගිය බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති ‘ඔන්මැක්ස්ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනකු ලබන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (3) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දීප සහ ධනංජය ජයාන් යන සැකකරුවෝය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෝ ඊයේ (3) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා 2006 අංක 02 දරන බැංකු පනතේ 83 වැනි වගන්තිය යටතේ සහ 2006 අංක 05 මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ තුන්වැනි වගන්තිය යටතේ කරුණු දක්වමින් සැකකරුවන් ඇප දිය නොහැකි වරදක් කර ඇති බව කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කළ සමාගමක් වන අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සැකකරුවන් දැනට අනාවරණය වන ආකාරයට තැන්පත් 2,19,000කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් කීය. තවද ඔවුන් පස් දෙනා පවත්වා ගෙන ගිය වොලට්වල පමණක් ක්ලිප්ටෝ කරන්සි නැත හොත් අතථ්‍යය මුදල් රු. මිලියන 429කට අධික ප්‍රමාණයක් තිබුණු බවත් පවසා සිටියේය. වැඩි දුරටත් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ සම්පත් සඳරුවන් නැමැති අයගේ බැංකු ගිණුමේ රු. මිලියන 558ක් ද, ඉන්දික සම්පත්ගේ බැංකු ගිණුමේ රු. මිලියන 29ක්ද, ධනංජය ජයාන්ගේ බැංකු ගිණුමේ රු. මිලියන 117ක්ද, සාරංග රන්දීපගේ ගිණුමේ රු. මිලියන 182ක්ද, ගයාෂාන් අබේරත්නගේ ගිණුමේ රු. මිලියන 19ක් තිබුණු බවට අනාවරණයව ඒවා මේ වන විට අත්හිටුවා ඇති බවයි.
සැකකරුවන් සන්තක මේ මුදලට අමතරව දේපළද විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, ඒවා විමර්ශනය කිරීම සඳහා සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම අත්‍යවශ්‍ය බවත් කීය. දැනට අනාවරනය වූ තොරතුරු අනුව සම්පත් සඳරුවන් නැමැත්තා රු. මිලියන 624ක් වටිනා හෝටලයක්, නිවාස සංකීර්ණයක් ඇතුළු දේපළ තිබෙන බවත් එයට අමතරව ඥාතින් හා වෙනත් අයගේ නම්වලටද දේපළ මිල දී ගෙන ඇති බවට සැක බවත් ඒ ගැනද විමර්ශන සිදු කරන බව කීය. මෙයට අමතරව ඉන්දික සම්පත් නමැති සැකකරු සතු බවට රු. මිලියන 5.5ක දේපළත් සාරංග රන්දීප සතු මිලියන 90ක දේපළත් අන්සතු කිරීම අත්හිටුවා ඇති බව ප්‍රකාශ කර සිටියේය.
සැකකරුවන්ගේ වංචාවට විශාල පිරිසක් හසුව ඇති බවත් මේ වන විට වීරකැටිය, වලස්මුල්ල හා දෙහිවල ප්‍රදේශවල මරණ තුනක් සිදුව ඇති බවත්, එම නිසා සැකකරුවන් ඇප දීමෙන් විශාල මහජන කැලැඹීමක් ඇති විය හැකි බවත් කීය.
මහ බැංකුව අදාළ සමාගම තහනම් කර ඇති බව දැන්විම් ප්‍රසිද්ධ කර තිබියදී එය නොතකා තවත් විශාල පිරිසක් අදාළ සමාගම්වල මුදල් ආයෝජනය කර ඇති බව කි රජයේ නිතිඥයා කියා සිටියේය. එයට අමතරව සමාගම විරුද්ධව පැමිණිලි කළ හොත් ගනුදෙනුකරුවන්ගේ මුදල් නොගෙවන බවට තැන්පතුකරුවන් බිය ගන්වා ඇති බව අධිකරණයට දැන්විය.
අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අතථ්‍ය මුදල් ලෝකයේ පිළිගත් විනිමය මාධ්‍යයක් බවත් එය ආයෝජන සඳහා සකස් කළ වේදිකාවක් බවත් කීය. එමෙන්ම අදාළ සමාගම මුදල් ගනුදෙනු කර නැති නිසා එය පිරමීඩ ජාවාරාම්කර නැති බව කීය.
දෙපක්ෂය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත්, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත්, දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගන්නා ලෙසත් නියම කළේය.