Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකාවේ අභි­වෘ­ද්ධි­යට දකුණු කොරි­යාවේ සහාය දිග­ටම

ශ්‍රී ලංකාවේ අභි­වෘ­ද්ධි­යට දකුණු කොරි­යාවේ සහාය දිග­ටම

ජනා­ධි­පති යුන් සුක්ගෙන් ජන­පති රනිල්ට සහ­ති­ක­යක්

by Gayan Abeykoon
November 4, 2023 1:29 am 0 comment

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමිව පසුගිය සැප්තැම්බර් 18 දා නිව්යෝර්ක් නුවරදී දෙරට රාජ්‍ය නායකයන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, ඒ සාකච්ඡා ප්‍රශංසාත්මකව අගය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව පෙන්වා දී ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තම විශේෂ අවධානය යොමුව ඇති බවද දැනුම් දී ඇත.

සමුළුව නිමවා සිය රටට පැමණි විගසම ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ. වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද දැනුම් දී ඇත. පුළුල් ක්ෂේත්‍රයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නුදුරු අනාගතයේදීම නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොරියානු ජනරජය ඉන්දු පැසිෆික් කලාපය තුළ සිය මැදිහත්වීම පුළුල් කරමින් සිටින අවස්ථාවක දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයද දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කර ඇති දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශක්තිය සහ නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT