– ලෝක කුසලාන ඉතිහාසයේ වසර 48කට පසු ශ්‍රී ලංකාවෙන් අඩුම ලකුණු වාර්තාවක්
– මුලින් පහර දුන් කණ්ඩායම් පිට පිට තරග 6ක් දිනා සිටි වන්කඩේ පිටියේ කුසල් පන්දු යැවීමට තීරණය කළේ ඇයි?
– තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ඩිල්ෂාන් මධුෂංක කඩුලු 18යි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ගමනක නිරත වෙමින් සිටින ප්‍රබල ඉන්දීය පිල ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 302කින් පරදා මහත්වූ අභිමානයෙන් යුතුව අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ තරගාවලියේ පිට පිට 7 වැනි ජයග්‍රහණය වාර්තා කළ ඉන්දියාව අවසන් පූර්ව වටයට කෙළින්ම පිවිසි පළමු කණ්ඩායම වූ අතර, ශ්‍රී ලංකාව තවත් තරග 2ක් ඉතිරිව තිබියදී තරගාවලියෙන් ඉවතට ගියේය.
මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ හෙයින් කඩුලු 8කට ලකුණු 357ක් වාර්තා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඕවර 19.4කදී ලකුණු 55කට දැවී ගියේය. මෙයට මාස එකහමාරකට පෙර ආසියානු ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ලකුණු 50ක් වැනි අඩු ලකුණු ගණනකට දවා ගැනීම ද මෙහිදී සිහිපත් වේ.
ඊයේ තරගයේදී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වසර 48කට පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු ගණන සටහන් වූ අතර, මෙයට පෙර 1975දී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ශ්‍රී ලංකා පිල ලකුණු 86කට දැවී ගොස් තිබිණි. ඊයේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 4 වැනි අඩුම ලකුණු ඉනිම ලෙස ද එය වාර්තා පොත අලුත් කළේය.
ඉන්දියාව එක්දින ක්‍රිකට් පිටියේ සිය විශාලතම ජයග්‍රහණය වාර්තා කරමින් තවත් ඕවර 30යි පන්දු 2ක් ඉතිරි කරගන්ද්දී වන්කඩේ පිටියේ වාර්තාවූ අඩුම එක්දින ලකුණු ගණන ශ්‍රී ලංකා පිලෙන් වාර්තා විය. මෙයට පෙර 1998දී ඉන්දියාව ඉදිරියේ බංග්ලාදේශය වන්කඩේහිදී ලකුණු 115කට දැවී ගියේය.
වන්කඩේ පිටියේ නිමා වූ ලෝක කුසලාන තරගය ඇතුළු පිට පිට තරග 6කදී මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය ලැබූ ඉතිහාසයක් ඇති පසුබිමක කාසියේ වාසිය දිනූ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේ ඇයිද යන ගැටලුව තරගය ආරම්භයේ සිටම මතුව තිබූ ප්‍රශ්නාර්ථයකි. කුසල් ගත් එම තීරණය වැරදි බවට වඩාත් තහවුරු වූයේ ඉන්දීය නායක රෝහිත් ෂර්මා කාසියේ වාසිය දිනා ගත්තේ නම් ඔවුන් පළමුව පන්දුවට පහර දෙන බවට එවලේම කළ ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමඟය.
කෙසේ වුවද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිස ඔසවන්නට ඉඩ නොදුන් ඉන්දීය ආරම්භක පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා හා මොහොමඩ් සිරාජ් පළමු කඩුලු හතරම ලකුණු 3කදී දවා ගැනීමට සමත් වූහ. පැතුම් 0යි, දිමුත් 0යි, කුසල් 1යි හා සධීර 0යි ලෙස පළමු පිතිකරුවන්ගේ ඉරණම විසඳී ගියහ. පිතිකරුගේ රේඛාවේ එහාට මෙහාට සෙලවෙන්නට බැරිව සිටි අසලංක පන්දු 20කට පසු එක් ලකුණක් ලබා වගකීම් විරහිතව මුහුණ දුන් 24 වැනි පන්දුවේදී දැවී ගිය අතර, ඊළඟ පන්දුවේදී දුෂාන් හේමන්ත දවාගෙන මොහොමඩ් ෂාමි පිට පිට කඩුලු 2ක් ලබා ශ්‍රී ලංකා බිඳ වැටීම තවත් උග්‍ර කළේය. මැතිව්ස් 12ක්, කසුන් රාජිත 14ක් හා තීක්ෂණ නොදැවී ලකුණු 12ක් ලැබිමෙන් තවත් වාර්තා ගණනක්ම බේරී ගියහ.
ජස්ප්‍රිට් බුම්රා කඩුල්ලක්, මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් හා මොහොමඩ් සාමි තම හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කොට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ.
ඉන්දීය පිල පන්දුවට පහරදීමේ දී ආරම්භක පිතිකරු නායක රෝහිත් ෂර්මා පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ අතර, ඩිල්ෂාන් මධුෂංක එවූ දෙවනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 4කට දැවී ගියද ශුබ්මන් ගිල් හා විරාත් කෝලි එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 179කදී ලකුණු 189ක සබඳතාවක් ගොඩනඟා ඉනිම ශක්තිමත් කළහ. ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු යැවීම මෙන්ම දුර්වල පන්දු රැකීම කෝලිට හා ශුබ්මන්ට ආශිර්වාදයක් විය. ශුබ්මන් ගිල් ලකුණු 9 දී කවර්ස්හි සිටි චරිත් අසලංකට උඩ පන්දුවක් ලබා දුන් අතර, කෝලි ලකුණු 10ක් ලබා සිටියදී පන්දු යැවූ දුෂ්මන්ත චමීර අතට පෙරළා උඩ පන්දුවක් ලබා දුන්නද රැක ගැනීමට නොහැකි විය.
පන්දු 94කට මුහුණ දුන් කෝලි හතරේ පහර 11ක් සමඟ ලකුණු 88ක් ලබා සිය 70 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරද්දී අනෙක් අන්තයේ සිටි ශුබ්මන් ගිල් පන්දු 92කදී හයේ 2ක් හා හතරේ 11ක් සමඟ ලකුණු 92ක් ලබා 11වැනි අර්ධ ශතකය එක් කළේය. පන්දු 56කදී දැවැන්ත හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් එල්ල කරමින් වේගවත් ලකුණු 82ක් ලැබූ ශ්‍රෙයාස් අයියර් තම 16 වැනි එක්දින අර්ධ ශතකය වන්කඩේ පිටියට රැස්ව සිටි 42000ක පමණ ප්‍රේක්ෂකයන්ට ආශ්වාදයක් ලබාදෙමින් එක් කළේය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 80කට කඩුලු 5ක් බිඳ හෙළූ අතර, මේ වන විට ඔහු ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 18ක් දවා ගෙන වැඩිම කඩුලු බිඳ හෙළූ පන්දු යවන්නා බවට ද පත්ව සිටී. මේ තරගයේදී ඉන්දීය පිලේ වෙනසක් නැති වුවද, ශ්‍රී ලංකා පිලට ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත එක් විය.