Wednesday, April 9, 2025
Home » ඥාති කතගේ විදුලි බිල ගෙවන්න සොරාගත් යතුරුපැදිය කපුවකුට විකුණලා

ඥාති කතගේ විදුලි බිල ගෙවන්න සොරාගත් යතුරුපැදිය කපුවකුට විකුණලා

by mahesh
November 3, 2023 1:00 am 0 comment

හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

කාන්තාවකට විදුලි බිල ගෙවා දැමීම සඳහා මුදල් සොයා ගැනීමට ඥාති අයියා විසින් පාණදුර, පරත්ත ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබියදී සොරාගත් යතුරුපැදියක් මීගොඩ ප්‍රදේශයේ කපුවෙකු සතුව තිබියදී එම කපුවා සමඟ 01දා අත්අඩංගුවට ගත් බව පාණදුර උතුර පොලිසිය පවසයි.

මෙම කපුවා එය පාණදුර ප්‍රදේශයේ සැකකාර පුද්ගලයා හා කාන්තාවගෙන් රුපියල් පනස්දාහකට මිල දී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

පාණදුර, පරත්ත ප්‍රදේශයේ තරුණයෙකු තාප්පයකින් වටවී ඇති තම නිවෙසේ ඉදිරිපස ගරාජයේ පසුගිය 31දා රාත්‍රී 10.00ට පමණ යතුරුපැදිය දමා ගේට්ටුවට යතුරු දමා නින්දට ගොස් ඇත්තේ යතුරුපැදියේ යතුර එහිම තිබියදීය. එම අවස්ථාවේ තාප්පයෙන් පැනගත් සැකකරු යතුරුපැදිය අසල බිත්තියේ එල්ලා ඇති ගේට්ටුවේ යතුර ගෙන ගේට්ටුව විවෘත කරගෙන යතුරුපැදිය රැගෙන ගොස් ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ලද පැමිණිල්ලට අනුව විමර්ශන සිදු කිරීමේදී ජැකට් ඇඳ ගත් පුද්ගලයෙකු මෙම යතුරුපැදිය රැගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී යතුරුපැදිය මීගොඩ ප්‍රදේශයේ තිබියදී සොයාගෙන තිබේ.

මෙම කපුවා පරත්ත ප්‍රදේශයේ සැකකාර පුද්ගලයා මීට පෙර දැන හඳුනාගෙන ඇති අයෙකු වන අතර, යතුරුපැදියක් මිල දී ගැනීමට සොයමින් සිටියදී 31දා රාත්‍රියේ රුපියල් පනස්දාහකට විකිණීමට යතුරුපැදියක් තිබෙන බවට පරත්ත ප්‍රදේශයේ පුද්ගලයාගේ දැනුම් දීම මත පාණදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයට ලොරි රථයකින් පැමිණි බව ප්‍රකාශ කර තිබේ. එම අවස්ථාවේ කාන්තාවක්ද සිට ඇති අතර, ඔවුන් දෙදෙනා සමඟ ලොරි රථයෙන් යතුරුපැදියද රැගෙන මීගොඩ ප්‍රදේශයට ගොස් රුපියල් පනස්දාහක මුදල ඔවුන්ට ලබා දුන් බව ප්‍රකාශ කර තිබේ.

මෙම කාන්තාව හා පිරිමි පුද්ගලයා සොයා විමර්ශන සිදු කිරීමේදී මොරටුව ප්‍රදේශයේ සිටියදී කාන්තාවගේ පුත්‍රයෙකු හමු වී ඇති අතර, ඔහු මවට දුරකතනයෙන් සිද්ධිය දැනුම් දී පවසා ඇත්තේ යතුරුපැදිය ආපසු ලබා දෙන ලෙසයි. විදුලි බිල ගෙවා දැමීමට මුදල් සොයා ගැනීමට පරත්ත ප්‍රදේශයේ සිටින ඥාති අයියා ලවා මෙම සොරකම සිදු කළ බවත් දෙදෙනා මුදල් බෙදා ගෙන තමා කුරුණෑගලට ගිය අතර, ඥාති අයියා හම්බන්තොට ගිය බවත් පවසා තිබේ.

මේ අනුව පලා ගිය සැකකාර කාන්තාව හා පුද්ගලයා සොයා ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කපුවා මීගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය පවසයි.

පාණදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිරන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 97375 දිසානායක, 28765 බණ්ඩාර, 31279 ලියනගේ, 59102 අධිකාරි යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT