පොල්පිතිගම ප්‍රාදේශීය සභාවට අයත් ඉහළ තිඹිරියාව ග්‍රාමසේවා වසමේ පිහිටි කඳුබඩගම, දම්පිටිය පාරේ ඇති මඩ වගුරු සහිත විශාල වළක් නිසා ඒ ඔස්සේ ගමන් ගන්නා වාහන රියැදුරන් සහ පා ගමනින් යන පිරිස ද දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
බලධාරීන්ට පැවසුව ද විසඳුමක් නැති බැවින් ගම්වාසීන් වෙල් යායක තිබූ පස් දමා එම වළ ගොඩ කිරීමට ගත් උත්සාහයක් නිසා තත්ත්වය තවත් උග්‍ර වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ නිකවැව දේවානම්පියතිස්ස විද්‍යාලය, තෙන්නකෝන්ගම හා කඩවල විද්‍යාලවලට එම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා සිසු දරුවන් මේ දිනවල පවතින වැසි තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්වන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
එමෙන්ම පොල්පිතිගම ඇඟලුම් සේවකයන් රැගත් බස් රථයක් උදේ – සවස දිනපතා ගමන් ගන්නේ ද මේ ඔස්සේය. ඉකුත් දා බස් රථය මෙහි එරුණු බවත් එහිදි ගම්වාසීන් එක්ව තල්ලු කර ඉවතට ගත් බවත් ප්‍රදේශවාසීහු පවසති. යතුරුපැදි, පාපැදි පවා මෙම ස්ථානයෙන් ගමන් කළ නොහැක. මෙම මාර්ගය යථා තත්ත්වයට පත්කර දෙන මෙන් ප්‍රදේශවාසීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
වහාම තාක්ෂණ නිලධාරියකු යවා ස්ථානය පරීක්ෂා කර බලා, ගැටලුවට විසඳුම් ලබා දෙන බවට පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්, උදේනිකා මොහොට්ටි මහත්මිය පවසා සිටියා ය.