– රුපියල් 4,153,136කට විදලා
– අනුබල දුන් කතටත් ඇප නෑ
පොළොන්නරුව, ජඹුරේවෙල උප තැපල් කාර්යාලය සතුව තිබූ රුපියල් 4,153,136ක පමණ ආදායම් හුවමාරු මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා පොලිසිය සහ අධිකරණය මඟහැර පලාගොස් කලක් සැඟව සිටියදී පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ජඹුරේවෙල උප තැපල් කාර්යාලයේ උප තැපල් ස්ථානාධිපතිය මේ මස 15වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා දිසානායක මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පොළොන්නරුව ජඹුරේවෙල උප තැපල් කාර්යාලයේ උප තැපල් ස්ථානාධිපතිනිය වන පොළොන්නරුව, අත්තනකඩවල, රදලිගේඔය අංක 507/690 ඒ ලිපිනයේ එන්.පී. චිත්‍රා කුමාරි මැණිකේ නමැති සැකකාරියයි. මෙම මූල්‍ය වංචාව සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොළොන්නරුව අත්තනකඩවල මඩුදමන අංක 508/575 ලිපිනයේ පී. සමන්ති වීරසිංහ නමැති සැකකාරිය ද මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. වීරතුංග මහතා පැවසුවේ ජඹුරේවෙල උප තැපල් කාර්යාලය සතුව තිබූ රුපියල් 4,153,136ක පමණ ආදායම් සහ හුවමාරු මුදල් පළමු සැකකාරිය විසින් ඉතා සූක්ෂ්මව වංචා කරනු ලැබ ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවයි.
දෙවැනි සැකකාරිය එම මූල්‍ය වංචාවට ආධාර අනුබල දී ඇති බවද අධිකරණයට කියා සිටි ස්ථානාධිපති වීරතුංග මහතා මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති බැවින් සැකකාරියන් බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය. පළමු සැකකාර උප තැපල් ස්ථානාධිපතිනිය මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා කලක් පොලිසිය සහ අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ඇය විදේශ ගතවනු ඇති බවට ඇති වූ සැකය මත ඇයට විදේශ ගතවීම් වළකාලමින් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා දිසානායක මහත්මිය විසින් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල ආගමන විගමන පාලකරුවන්ට තහනම් නියෝග දෙකක් මීට පෙර නිකුත් කරනු ලැබුවාය. පොළොන්නරුව තැපල් අධිකාරී බී.ඒ. සරත් කුමාර ජයසේකර මහතා පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් පොළොන්නරුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. වීරතුංග මහතා පෙනී සිටි අතර, සැකකාරියන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා පෙනී සිටියේය. පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. වීරතුංග මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදු කරයි.