Wednesday, April 23, 2025
Home » හමුදා සෙබළාගේ රහසඟ බිරිය ගිරයකින් කපලා

හමුදා සෙබළාගේ රහසඟ බිරිය ගිරයකින් කපලා

by mahesh
November 3, 2023 12:59 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද කරුණාදාස

– බිරිය ශරීර ඇප දෙකක් මත මුදාහරී
– මානසික වෛද්‍ය සායනයකට යවන්නැයි අධිකරණයෙන් නියෝග

යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතළ තවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව මේ මස 17 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර යහලේගම සමෘද්ධි මාවත ලිපිනයේ ඩබ්ලිව්. පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නමැති කාන්තාවයි. තොප්පිගල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන තම සෙබළ සැමියා දිවා කාලයේ නිවෙසේ නිදාගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අඟල් දෙකක් පමණ කපා බරපතළ තුවාල සිදු කර ඇති බවත් පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය කීවේය.

අගතියට පත් පැමිණිලිකාර යුද හමුදා සෙබළා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ මෙරට පැවති තිස් වසරක යුද්ධයේ දරුණු සටන් අවස්ථාවන්වලට පවා මුහුණ දුන් යුද හමුදා සෙබළකු වන සිය සේවාදායකයා දරුණු යුද සටන් පැවති යුද බිමේදී පවා මෙවැනි විපතකට මෙන්ම වේදනාවකට පත් නොවූ බවය.

සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සංජය රත්නායක මහතා ප්‍රශ්න කර සිටියේ පැමිණිලිකරු යුද හමුදා සෙබළෙක් නම් සිය බිරිය ඔහුගේ පුරුෂ ලිංගය ගිරයකින් කපන තුරු ඔහු බලා සිටියේ මන්ද යන්නයි. දරුණු යුද අවස්ථාවන්වලට මුහුණ දී සිය ජීවිතය සහ අතපය ආරක්ෂා කර ගත් හමුදා සෙබළෙකුට බිරියකගෙන් සිය පුරුෂ ලිංගය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ මන්දැයි යන්නද නීතිඥවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කවරක්කුලම පොලිසියේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතාත් සැකකාරිය වෙනුවෙන් නීතිඥ සංජය රත්නායක මහතාත් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT