බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පෙරේදා (01) අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරු සාජා සිට පැමිණ ඇත්තේ අත්තනගල්ලේ ව්‍යාපාරිකයකු ඝාතනය කර නැවත රටින් පලා යෑමේ සූදානමක් ඇතිව බව පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් හෙළි කරගනු ලැබීය.
මාකිලංගමුවේ සංජීවගේ කල්ලියේ වෙඩික්කරුවකු බව කියන බස්නාගලගේ දොන් රොෂාන් චතුර්ක නොහොත් චතුරික නමැති මෙම අපරාධකරු මෙම ඝාතනයට සූදානමින් මෙරටට පැමිණ ඇත්තේ මුදල් කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
අවන්හල් හිමිකරුවකු වන මෙම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කර ඇති බවත් කප්පම් නොදීම හේතුවෙන් ඔහුව මරා දැමීමට පාතාල අපරාධකරුවන් විසින් කළ සැලසුමක් පොලිස් විශේෂ කාර්ය බළකායට කල් තියා ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධකරුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද එම නිලධාරියා කීය.
අදාළ ව්‍යාපාරිකයා තමන්ගෙන් පාතාලය කප්පම් ඉල්ලා තර්ජනය කරන බව අත්තනගල්ල හා නිට්ටඹුව පොලිස් ස්ථානවල පැමිණිලි ද දමා ඇති බව සඳහන්ය.
මෙම අපරාධකරු එක්සත් එමීර් රාජ්‍යයේ සිට 2023-10-30ත් – 2023-11-01ත් අතර කාලය තුළ මෙරටට පැමිණීමට සූදානමක් ඇති බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (01) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
විශේෂ කාර්ය බළකාය මඟින් මෙහිදී මෙම අපරාධකරුගේ විදෙස් ගමන් බලපත්‍ර අංකය පවා සොයාගෙන ඒ බව ගුවන්තොටුපොළ ආරක්ෂක බලධාරීන්ව කල්තියා දැනුම්වත් කර තිබී ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එම තොරතුරු හේතුවෙනි.
ගලපිටමඩ පොලිස් වසමේ දුනුමාල ප්‍රදේශයේදී පසුගිය ජූලි 14 වැනිදා සරත් වේරගොඩ නොහොත් දුනුමාල සරත් නමැති පුද්ගලයකුට ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම ද ඩුබායි සිට ක්‍රියාත්මක කර ඇත්තේ මෙම සැකකරු බව හෙළි වී තිබේ.
ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුව පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මූලික විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා විසින් සිය භාරයට ගෙන කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා යුද හමුදා සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අයකු බවය. ඔහු 2008 වසරේ පෙබරවාරි 06 වැනිදා නිවාඩු ලැබ නිවෙසට පැමිණ සිටියදී කොටුගොඩ සීදූව පාරේ පදිංචි නෙවිල් පෙරේරා යන අයට ටී-56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමකට අත්අඩංගුවට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් පවා ඇතැයි පොලිසිය කියයි.
ඒ හැරුණුකොට කෑගල්ලේ සිදු වූ රන් මාල කොල්ලයක්, කඩවතදී යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාවක් ද මෙම සැකකරුට එරෙහිව ඇතැයි පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් නිට්ටඹුව, අත්තනගල්ල සහ වීරඟුල යන පොලිස් ස්ථානවලට මෙම පුද්ගලයා හසු වී ඇති බව ද අනාවරණය වී ඇත.
විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඊයේ (02) භාර දී තිබේ.