Home » ග්‍රාම නිලධාරි විභාගය දෙසැම්බරයේ තියා මාස 3කින් පත්වීම් දෙනවා

ග්‍රාම නිලධාරි විභාගය දෙසැම්බරයේ තියා මාස 3කින් පත්වීම් දෙනවා

by mahesh
November 3, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේදී පවත්වා, මාස තුනක් ඇතුළත පත්වීම් දී අවසන් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවසීය.

‘අලුත් ගමක් – අලුත් රටක්’ ජාතික වැඩසටහනට සමගාමීව වවුනියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක් වෙමින් අගමැතිවරයා මේ බව පෙරේදා (01) පැවසීය.

තුන් දහසක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවා තිබෙන බවත් නීත්‍යනුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන බවත් අගමැතිවරයා කීවේය.

ග්‍රාම නිලධාරී පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පැවැත්වීමෙන් අනතුරුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව ද අගමැතිවරයා කියා සිටියේය.

උපාධිධාරීන් හෝ උපාධියට කිට්ටු සුදුසුකම් තිබෙන අයට තම දිස්ත්‍රික්කය තුළ, පළාත තුළ ඉල්ලුම්පත් කැඳවා ගුරු පත්වීම් ලබා දෙනවා. අඩුපාඩු තියෙන විෂයට ගුරුවරුන් පත් කළ යුතුයි. කොළඹින් පත්වීම් දෙනවා වෙනුවට අපි පළාතෙන් පළාත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය පාසලෙන් පාසලට අලුත් අයට පත්වීම් ලබා දෙන්නයි මේ වෙනස ඇති කරන්නේ. එමඟින් වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම දියුණුවේ බලාපොරොත්තු ඇති දරුවන් ගොඩනැඟෙන පාසල් බවට පත් වෙයි යනුවෙන්ද අගමැතිවරයා කීවේය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, රාජ්‍ය ඇමැතිවරුන් වන කාදර් මස්තාන්, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වන් අඩෙයිකලනාදන්, චාල්ස් නිර්මලනාදන්, නෝහ රාදලිංගම්, කුලසිංහම් දිලිබරන්, යදාමිණි ගුණවර්ධන, ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරච්චන්ද්‍ර මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්, පොදු සංවිධාන නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT