Home » ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 17ට රෆා පිවිසුමෙන් පිටවෙන්න අවසර

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 17ට රෆා පිවිසුමෙන් පිටවෙන්න අවසර

by mahesh
November 3, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

එයින් 4කට පිටවීම දුෂ්කරයි
– තානාපති නිමල් බණ්ඩාර

ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 17 දෙනාට රෆා පිවිසුම ඔස්සේ එම කලාපයෙන් ඉවත් වීම සඳහා ඊශ්‍රායල් පරිපාලන අධිකාරියේ විශේෂ අවසරය හිමිව තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ‘දිනමිණට’ පැවසීය.

මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් 15 දෙනකු සහ ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වී සිටින පලස්තීන ජාතිකයන් දෙදෙනකු අයත් වන අතර ඊයේ (02) දිනය තුළ ගාසා තීරයෙන් පිටවීම සඳහා විශේෂ අවසරය හිමි වූ බව ද තානාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම ශ්‍රී ලාංකිකයන් අතුරින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු එම කලාපයට ඈතින් රැඳී සිටින බව පෙන්වාදුන් තානාපතිවරයා එම ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා රෆා පිවිසුම ඔස්සේ ගාසා තීරයෙන් ඉවත්ව යෑම තරමක් දුෂ්කර වී තිබෙන බව ද පෙන්වා දුන්නේය. ගාසා තීරයේ සිර වී සිටින විදේශිකයන් විශාල පිරිසට එම කලාපයෙන් ඉවත්ව යෑම සඳහා රෆා පිවිසුම භාවිත කිරීමට ඊශ්‍රායල් පරිපාලන අධිකාරියේ අවසරය හිමි වූ බවද ඒ අනුව ශ්‍රී ලාංකිකයන් පිරිස ද ඊජිප්තුව බලා ගමන් කළ බව ද පැවසීය.

මේ වන විට යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූවන් සහ විදේශිකයන්ට එම කලාපයෙන් පිටව යෑම සඳහා ඊජිප්තු ගාසා දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම විවෘත කිරීමෙන් පසු මේ දක්වා 400ක පමණ පිරිසක් එම පිවිසුම ඔස්සේ ඊජිප්තුවට පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙන බව ද විදේශිකයන් සහ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් 596 දෙනකුට එම පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළු වීමට අවසර හිමිව ඇති බව ද වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT