නිවෙසක සුරතලයට ඇති කළ රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් වටිනා ‘ශිට්සු’ වර්ගයේ සුනඛයකු සොරකම් කර පැහැරගෙන ගොස් මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් නිවෙසක මෙහෙකාර කාන්තාවක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර තිබේ.
හාලිඇළ, උණගොල්ලවත්ත මොරගොල්ල කොටසේ පදිංචි ඥානසේකරම් සුභාෂිණී හෙවත් සුභා නමැති මෙහෙකාර කාන්තාව මෙලෙස ඇප මත මුදාහැරියාය.
නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන පී.ටී.බී. මේඛලා ඉරුගල්බණ්ඩාර විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අදාළ නඩුව ගොනුකර තිබිණි.
අදාළ නිවෙසේ ඇති කළ ශිට්සු වර්ගයට අයත් සුනඛයා සොරකම් කිරීම, එම සුනඛයා සොරකම් කළ බව දනිමින්ම පැහැරගෙන ගොස් හාලිඇළ ප්‍රදේශයට බැහැර කිරීම, එම සුනඛයා මරණයට පත් වීමට සලස්වා අනර්ථයක් සිදු කිරීම මඟින් විත්තිකාරිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට චෝදනා තුනක් ඉදිරිපත් කළේය. අදාළ නඩුව නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අතර ඇය හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබුවාය.
සුනඛයා සොරකම් කරගෙන විත්තිකාර මෙහෙකාරිය ගමන් කළ බව කියන බසයේ රියැදුරු විසින් ඇය එහිදී හඳුනාගනු ලැබීය. විත්තිකාර කාන්තාව පැමිණිලිකාරියගේ සහෝදරියගේ නිවෙසේ සේවය කර ඇති අතර එම සහෝදරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලිකාරිය සමඟ ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා නිවෙසින් පිටව ගොස් තිබේ. ආපසු නිවෙසට පැමිණෙන විට විත්තිකාර මෙහෙකාරිය නිවෙසේ සිට නැති අතර සුරතලයට ඇති කළ සුනඛයා ද නිවෙසේ සිට නැත. නිවසේ ඇති සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකාර මෙහෙකාරිය විශාල බෑගයක් රැගෙන නිවෙසෙන් පිටව යන අයුරු එහි සටහන්ව තිබී ඇත. ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී ඇය පිටකොටුව බස් රථ නැවතුම්පොළට පැමිණ හාලිඇළ දක්වා දිවෙන බස් රථයේ ගමන් කළ බවට අනාවරණය වී ඇත.
මෙම විත්තිකාර කාන්තාව බස් රථයක නැඟී බලු පැටවකු සමඟ සිය බස් රථයේ ගමන් ගත් බවට එම බස් රථයේ රියැදුරු විසින් සාක්ෂි ලබාදෙන ලදි.
අදාළ නඩු විභාගය ආරම්භයේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු විත්තිකාර කාන්තාව හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී අදාළ බස් රථයේ රියැදුරු විසින් හඳුනාගෙන සාක්ෂි ලබා දෙනු ලැබීය.
අනතුරුව තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් විත්තිකාර කාන්තාව විසින් වරද පිළිගන්නා ලදි.
ඒ අනුව කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත විත්තිකාරිය මුදාහැරීමට නියම කළාය.