මාර්ග අනතුරු, ඒ ආශ්රිත මරණ සහ ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීමටත්, පාලනයටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ, ගාලු මුවදොර හෝටලයේ පෙරේදා (01) පැවති Safe Roads – Safe Children ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව – 2023 අමතමිනි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුවෙන් මෙය සංවිධානය කර තිබිණි. මාර්ග අනතුරුවලට ලක්වීමෙන් ළමයින්ට මුහුණ දීමට සිදුවන මරණ සහ ආබාධිත තත්ත්වයට පත්වීම අවම කිරීම මෙවර සමුළුවේදී මූලික අවධානයට ලක් වූ අතර, ඒ වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නීතිය සහ සාමය ආදී ක්ෂේත්රවල කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය:
“මාර්ග අනතුරු සහ ඒ ආශ්රිත මරණ, ආබාධිතවීම් වැළැක්වීමටත්, පාලනයටත් ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් හෝ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් පිළිබඳව ඔබ අපගේ අවධානය යොමු කර තිබෙනවා. මෙහිදී ගැටලු රැසක් දක්නට ලැබෙනවා. පළමුවැන්න වන්නේ නොසැලකිලිමත්ව රිය පැදවීම. අනෙක් කරුණ වන්නේ අප භාවිත කරන ත්‍රිරෝද රථ වැනි ඇතැම් වාහන නිසි ආරක්ෂිත ප්‍රමිතීන්ට නොගැළපීම. අනෙක අපේ රටේ මාර්ග පද්ධතිය එතරම් දියුණු තත්ත්වයක නෑ. අපට මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් තිබිය යුතුයි. මේ කාර්යය භාර ගනු ලබන කමිටුවෙන් සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙනවා. වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින්් සොයා බැලෙනවා.”
මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුවේ සභාපති, මහාචාර්ය සමත් ධර්මරත්න මහතා ද අදහස් දැක්වීය. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වින්යා ආරියරත්න මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රවාහන ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයෝ ද, ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ්, රතු කුරුස ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහ විදෙස් තානාපති කාර්යාල නියෝජිතයෝ ද මේ අවස්ථාවට සහභාගි වී සිටිහ.