ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යූහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තු රජයේ මුදල් පිළිබඳ මුදල් කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමිව ඇත. මේ පරිපූරක ඇස්තමේන්තුව සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර, මේ මඟින් රු. බිලියන 231.5ක් වෙන් කරගැනීමට අපේක්ෂා කෙරේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමිව ඇත.
මේ මුදල් ඉන්ධන මිල දී ගැනීම සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ගත් ණය පියවීමට මේ ආයතන දෙක භාවිත කරන බව කාරක සභාව වෙත පැමිණි නිලධාරීහු සඳහන් කළහ. මේ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත්, මහා භාණ්ඩාගාරය ඉන්දීය ණය සහනාධාරය යටතේ ගත් ණය පියවීමටත් භාවිත කරන බව මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.
මෙලෙස ලබාගන්නා මුදලින් රුපියල් බිලියන 129ක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා බවත්, ඉතිරි බිලියන 102ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබාගන්නා බවත් මෙහිදී සඳහන් විය. එසේම ශ්‍රී ලංකා ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1ක පාඩුවක් ඇති බවත් මේ අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 30%ක් සඳහා පමණක් බවත් මෙහිදී අනාවරණය කර ඇත. එසේම මේ පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රු. බිලියන 300ක් 400ක් පමණ වන බවද මෙහිදී නිලධාරීන් සඳහන් කර තිබේ.
රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා, වජිර අබේවර්ධන සහ මධුර විතානගේ මහත්වරු මේ කාරක සභාවට සහභාගි වූහ.