Home » ඉදිරි අයවැයෙන් කුඩා-මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන

ඉදිරි අයවැයෙන් කුඩා-මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන

ජාතික කර්මාන්ත විශිෂ්ටතා උලෙළේදී ජනපති කියයි

by mahesh
November 3, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න, ඡායාරූප - සුලෝචන ගමගේ

ඉදිරි අය-වැයේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන සැලසීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමැති මණ්ඩලය හෝ කැමැත්තෙන් ගත් එකක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍යය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බව ද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023’ අමතමිනි.

සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කොතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එසේම මේ දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද හෙතෙම කීය. කෙසේ වුවද රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වයද පුරුදු පුහුණු විය බවත්, රට වෙනුවෙන් වැඩ කළ හැකි තරුණ ඇමැතිවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බල ගැන්වීම උදෙසා, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ජාතික කර්මාන්ත විශිෂ්ටතා උලෙළ 2023 සංවිධානය කර තිබිණි. මෙහිදී ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් හා උප කර්මාන්ත ක්ෂේත්‍ර 67ක් වෙනුවෙන් තරග කිරීමට අයදුම් කළ කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ ව්‍යවසායකයෝ 300 දෙනෙක් ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබූහ. Sanota (Pvt) Ltd , Thotawattha Engineering Work, Dhanusha Group of Companies, Dipped Products PLC ආයතන මෙහිදී ජනාධිපතිවරයා අතින් ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ක්ෂේත්‍ර වෙනුවෙන් ප්ලැටිනම් සම්මාන සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම පෞද්ගලික ආයතන 206ක් මෙහිදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

Industry TV නමැති නවතම නාළිකාවේ ලාංඡනය සහ නම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණ. මෙහි විකාශ කටයුතු මෙමස 21 දා සිට පියෝ ටීවී 130 ඔස්සේ සිදු කෙරේ. එමෙන්ම කර්මාන්ත සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“මෙහිදී සම්මාන ලැබූ පිරිස දෙස බැලූ විට මට පසුගිය වසර පිළිබඳ සිහිපත් වුණා. පසුගිය වසර වන විට මේ කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව ගැටලු රැසකට අප මුහුණ දී සිටියා. එදා විදුලිබලය තිබුණේ නැහැ, බැංකු ණය ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. මේ හේතුවෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියා.

“කෙසේ හෝ අද අපේක්ෂා නොකළ තරම් විශාල සංඛ්‍යාවක් නැවත තම කාර්මාන්තවල නිරත වී සාර්ථකව ඉදිරියට පැමිණ සිටිනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉතා කෙටි කාලයකදී නැවත දියුණු වී තිබෙනවා. එහෙත් ඇතැම් ගැටලු තවමත් විසඳී නැහැ. බැංකු ණය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම වෙළෙඳපොළ අත් කරගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ එම ප්‍රශ්න විසඳීමටත් අපේ අවධානය යොමු වී තිබෙනවා.

“ඊළඟ අයවැයේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන බවද කිව යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙන්ම අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

“ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අයවැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදු වෙනවා. මේ ණය නොගෙවා සිටිය හොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මේ ණය ආපසු ගෙවිය යුතුයි.

“මීට පෙර අය වැය සඳහා මුදල් නැත් නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි.

“ලබන වසර වන විට අපේ අදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් උපයාගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කයට අප ගමන් කළ යුතුයි. ලබන වසරේ බංකොලොත් නොවී රට ඉදිරියට ගෙන යෑමට නම් එම ආදායම් උපයාගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක්. විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු වැඩක්. එහෙත් මෙය සිදු නොකළ හොත් සියලු දෙනාගේ අනාගතය අඳුරු වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දු ගත යුතුයි. ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වුවද රට වෙනුවෙන් මේ තීන්දු ගත යුතුයි.

“අප නැවත යාචක ජාතියක් නොවිය යුතු බව අප තීරණය කළා. අප අපේ ශක්තියෙන් ඉදිරියට යා යුතුයි. මේ වසර ආරම්භයේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 7යි. අද වන විට ධන සියයට දශම 5ක් බවට පත්ව තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අප ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි. නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මේ වැඩපිළිවෙළ මඟීන් සිඟමන් යදින රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න පුළුවන්. මේ රටට යහපත් අනාගතයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අප ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරනවා. අද අසීරු වුවත් අපට තව වසර දෙක තුනකින් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි.

“2024 වන විට රටේ ආර්ථිකය මීටත් වඩා ශක්තිමත් කරගනිමින් ඉදිරියට යෑම අපේ අපේක්ෂාව බව සඳහන් කරමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.”

කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද, රාජ්‍ය ඇමැතිවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අගමැති ලේකම් අනුර දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරු මහත්ම මහත්මීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රධාන කර්මාන්ත ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT