Monday, April 21, 2025
Home » යුවතියන් අටදෙනෙකුට පෙම් කළ කොරළවැල්ලේ තාපසයා
අදට යෙදෙන ආචාර්ය අමරදේවයන්ගේ හත්වැනි ගුණානුස්මරණය වෙනුවෙනි

යුවතියන් අටදෙනෙකුට පෙම් කළ කොරළවැල්ලේ තාපසයා

by mahesh
November 3, 2023 1:00 am 0 comment

ඒ.ඩී. රන්ජිත් කුමාර

1942 වසරේ මොරටු විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ‘ඇල්බට්’ නම් ශිෂ්‍යයා හවස් කාලයේ පාසැලේ මිතුරන් සමඟ එක් වී බයිලා කියනු දුටු ඔහුගේ වැඩිමහල් සොහොයුරාට තරහ ගියේය. මොරටුවේ කොරළවැල්ලේ කොලු කට්ටිය විස්මයට පත් වෙද්දී අයියා මල්ලීගේ කනෙන් ඇදගෙන ගෙදර ගියේය.

ඇල්බට්ට සංගීතය ගැන උනන්දුව ඇති වූයේ ගෙදරිනි. ඔහුගේ පියා වූ ඩබ්ලිව්.ඩී. ජිනේරිස් ගමේ සිටි දක්ෂ ගායකයෙකි. වඩු කාර්මිකයකු වූ ඔහු ධනපතීන් වූ පාණදුරේ ලියා ප්‍රනාන්දු, මොරටුවේ එච්.ඊ.සී.ද මැල් ඇතුළු ප්‍රභූ පවුල්වල ලී බඩු හැදුවේ විසිතුරු කැටයමින් විස්කම් මවමිනි. මේ ගැන ඇල්බට් (පසුව අමරදේව) 1977.09.12 ‘නවයුගය’ පත්‍රයට මා විසින් ලියූ විශේෂාංගයට මෙසේ පවසා තිබුණි.

“මගේ තාත්තා ගමේ වෙසක් බැති ගී, කැරොල් ආදිය සංවිධානය කළා. තාත්තා සියුම් වැඩවලට කෙතරම් දක්ෂ ද කිව්වොත් ජර්මනියේ තනන ලද වයලීනයක් දැකලා ඒ විදිහේ වයලීනයක් හැදුවා. මේ නිසායි ගුරුවරුන්ගේ අබලන් වූ කැඩුණු වයලීන් අලුත්වැඩියා කරන්න තාත්තාට දුන්නේ. මේ නිසා අපේ ගෙදර වයලීන් 10ක් විතර තිබුණා.

මම නිතරම වයලින් අතපතගෑවා. මගේ වයස හත වන විට මගේ උපන් දිනය දා තාත්තා වයලීනයක් තෑගි කළා. මට වයලීනය වාදනය කරන්න පුහුණුව ලැබුණේ තාත්තාගෙන්. ශාස්ත්‍රානුකූලව වයලීන් වාදනය මට පුහුණුව ලැබුණේ මගේ ලොකු අයියා (ඩබ්ලිව්.ඩී. චාල්ස් පෙරේරා) ගෙන්.”

ඇල්බට් මුලින්ම ඉගෙනුම ලැබුවේ කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලෙනි. මේ පාසලේ මුල් ගුරුවරයා වූ කු.ජෝ. පෙරේරා මහතා කුමාරතුංග මුනිදාසයන්ගේ අනුගාමිකයෙකි. 1941 වසරේ කු.ජෝ. පෙරේරා කුඩා ඇල්බට්ව කුමාරතුංගයන්ගේ නිවසට ගෙන ගියේය. ඔහුගේ සංගීත හැකියාව තේරුම්ගත් එතුමාගේ ඇසුර නිසා ඇල්බට්ගේ භාෂා දැනුම පෝෂණය විය. මාතර බ්‍රෝඩ්වේ ශාලාවේ වේදිකාගත වූ කුමාරතුංගයන්ගේ “කවිරස” ගී නළුවේ ඇල්බට් කවි ගායනා කළේය. මේ කවි ඇසූ කුමාරතුංගයන් රැපියල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, ජයන්ත වීරසේකර, අලව්ඉසි සැබිහෙළ, සඳදස් කෝපරහේවා, හියුබන් දිසානායක, අබිරම් ගම්හේවා, කුඩා ඇල්බට්ට “ඇල්බට් කුමරුවන්” යැයි නම් තැබූහ.

ඇල්බට් පාසල් තුනකින් අධ්‍යාපනය ලබා ඇත. පාණදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, මොරටු විද්‍යාලය හා බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ඔහු එවකට රාජ්‍යමන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල මන්ත්‍රී ඇන්.ඇම්. පෙරේරාගෙන් (හිටපු මුදල් ඇමැති) ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගෙන ඇත.

මේ කාලයේ එනම් ඇල්බට් මොරටු විද්‍යාලයේ ඉගෙනුම ලබන විට “කිරිහාමි” නම් පාසල් නාට්‍ය සංගීතය නිර්මාණය කළ අතර, ගායනා තරගයකින් මුල්තැන දිනා ගුවන්විදුලියේ තාවකාලික වයලීන් වාදකයෙකු ලෙස ද බැඳී සිටියේය. 1943 වසරේ නව කලා මණ්ඩලය මඟින් සංවිධානය කළ දීපව්‍යාප්ත සංගීත තරගවලට මොරටුවේ කොරළවැල්ලේ සිරි කළණ මිතු සමිතියේ ඇල්බට් පෙරේරා ද සිරිමතී වෙත්තසිංහ ද සහභාගි වූහ. එහිදී වයලීන වාදනයෙන් මුල් තැන ද කවි හා ගී සින්දුවලින් දෙවැනි සම්මානය ද ඔහු දිනා ගත්තේය. මුල් තැන හිමි වූයේ සිරිමතී වෙත්තසිංහටය.

ඉන්පසු ගුවන්විදුලියේ වයලීන වාදකයෙකු ලෙස ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්ත යන විශිෂ්ට සංගීතඥයන්ගේ ගීත සඳහා ඇල්බට් වයලීනයෙන් සහාය විය. කොලොම්බියා වෙළෙඳ තැටි සඳහා ඇල්බට්ව තෝරා ගන්නේ එවකට “ගවුස් මාස්ටර්” නම් විශිෂ්ට සංගීතඥයාය. ඇල්බට්, සිරිමතී වෙත්තසිංහ සමඟ ගැයූ මුල්ම ගීතයේ මුල් කොටසයි මේ.

“රසයි කිරි නෑ දියාරු
ගතයි සිතයි පිනා…

ඇල්බට් ගවුස් මාස්ටර් හමුවීමට ගොස් ඇත්තේ තම පියා සමඟය. එසේ යන විට තාත්තා ගවුස් මාස්ටර්ට ඉස්තරම් යාපනේ සුරුට්ටු පෙට්ටියක් ගෙනයාමට අමතක කර නැත. කොළොම්බියා තැටිය ගීතය ගැයීම සඳහා ඇල්බට්ට රුපියල් අසූවක චෙක් පතක් ලැබී තිබුණි. එය කොටුවේ පොරෝලිස් ප්‍රනාන්දු සමාගමෙන් මාරු කර ගත් ඇල්බට් ට්‍රෑම් රථයක නැඟී එන විට පික් පොකට්කරුවෙකු එය ඩැහැ ගත්තේය. මේ සිද්ධිය ඔහු අපට රස කර කර කියා සිනාසුණේය. කෙසේ වුව ද මේ සිදුවීම දැනගත් ගවුස් මාස්ටර් ඇල්බට්ට රු.50ක් දී ඇත.

ඇල්බට් පාසල් යන කාලයේ කදිම ප්‍රේමවන්තයකු වී සිටියේලු. මේ කාලයේ ඔහුට පෙම්වතියන් අටදෙනෙක් ප්‍රේම කර ඇති බව ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් රචිත “අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ” නම් පර්යේෂණ ග්‍රන්ථයේ සඳහන්ව ඇත. ඩල්සි, දවුලට්, රොසලින්, නන්දිකා, චන්ද්‍රිකා, රූපා, අනුලා හා කුසලා මේ පෙම්වතියන්ය.

ගවුස් මාස්ටර් සංගීතවත් කළ ලාංකේය සිනමාවේ දෙවැනි කතා නාද චිත්‍රපටය වූ “අශෝකමාලා” චිත්‍රපටයේ ස්වර ලිපි ලිවීමටත්, වාදක මණ්ඩලයේ වයලීන වාදනය කිරීමත් ඇල්බට්ට පැවරුවේය. එපමණක් නොව ඒ චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස ඇල්බට්ට නොමසුරුව පරිත්‍යාග කිරීමට තරම් ගවුස් මාස්ටර් කාරුණික විය. මාස්ටර්ගේ ප්‍රාණප්‍රිය ගෝලයා ඇල්බට්ය. සිංහල සිනමා ඉතිහාසයේ මුල්වරට ස්වතන්ත්‍ර තනු සහිත ගීත ඇතුළත් වන්නේ “අශෝකමාලා” චිත්‍රපටයේය. එහි ගෞරවය හිමි වන්නේ ගවුස් මාස්ටර්ටය. එපමණක් නොව ඇල්බට් පෙරේරා නම් අාධුනික ගායකයා මුල්වරට චිත්‍රපට පසුබිම් ගායකයකු ද චිත්‍රපට නළුවකු ලෙසද දොරට වඩවන්නේ ගවුස් මාස්ටර් හා චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසිනි.

තාපසයෙකුගේ චරිතයක් රඟපාමින් ඇල්බට් මේ චිත්‍රපටයේ ගී දෙකක් ගයා ඇත. මේ ගීත දෙක ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළේය.

“භවේ ගීත හැර දේශිත තිලොනා
ධර්මේ රසේ
තෘෂ්ණ ජාලේ මායා ලෝකේ
රාගෙන් පැටලී මෝහ විකාරේ”
අනික් ගීතය මෙසේය.
“ඇයි කරේ යමෙක් ආලේ
මේ ලෝකේ මායාකාරී
ඇයි කරේ යමෙක් ආලේ”

ප්‍රේමකුමාර එපිටවලගේ “සැළලිහිණි සන්දේශය” ගීත නාටකයේ ඇල්බට් කවි ගායනය හා වයලීන වාදනය කළේය. මෙහි සංගීත නිර්මාණය ද ගවුස් මාස්ටර්ගෙනි. මේ කාලයේ ඇල්බට්ගේ හිත මිතුරන් වූයේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, චිත්‍ර‍ෙස්න ආදීන්ය. ඩබ්ලිව්.ඒ සිල්වා සූරීන්ගේ “කැලෑහඳ” නවකතාව වේදිකාවේ රඟ දැක්වූ අවස්ථාවේ එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඇල්බට් බවත් අද ඉතා ජනප්‍රිය ගීතයක්ව තිබෙන ඔහු ගැයූ “ශාන්ත මේ රෑ යාමේ” ගීතය මුල්වරට ගායනා කළේ “කැලෑහඳ” නාට්‍ය‍ෙය් බව මහාචාර්ය විනී විතාරණ පවසා තිබුණි.

1953 වසරේ ඇල්බට්ට භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙහි විශාරද උපාධියට ඉගෙනීමට භාරතයට යන්නට අරමුදලක් පිහිටු වූයේ මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාලයන්ය. ප්‍රේමකුමාර එපිටවල තම ‘තිත්ත බත’ මුද්‍රා නාට්‍යය විශේෂ දර්ශනයක් පවත්වා අරමුදලට දායක වී ඇති අතර, සුනිල් ශාන්තයන් පුවත්පත් ලිපියකින් ඉල්ලා සිටියේ ඇල්බට්ගේ අරමුදලට හැකි තරම් උදවු කරන ලෙසයි. ඇල්බට් විදේශගත වීමට ප්‍රථම මහාචාර්ය සරච්චන්ද්‍රයන් අපූරු යෝජනාවක් ඔහුට ගෙනාවේය.

“ඔබට ඇල්බට් නම කොහෙත්ම ගැළපෙන්නේ නෑ. මේ බටහිර නම බැහැර කොට ‘අමරදේව’ නම භාවිතා කරමු.”

සරච්චන්ද්‍රයන්ගේ නම් මාරුවට මහාචාර්ය ගුණපාල මලලසේකරයන් හා ප්‍රේමකුමාර එපිටවල ද ඩී.බී. ධනපාල ද යහපත් ප්‍රතිචාර දැක්වූහ.

භාරත ගමන නිමා කළ අමරදේවයන් පෙරළා ලක්දිවට පැමිණ ගුවන් විදුලියේ වයලීන වාදකයකු ලෙස බැඳුණේය. මේ වකවානුවේ ඔහු ජනප්‍රිය සුභාවිත ගීත කිහිපයක් තමාම රචනාකොට තනු නිර්මාණයකොට ගැයුවේය. මේ අතර “පීනමුකෝ කළු ගඟේ – කිරි බැබළෙන හඳ පානේ”, “ශාන්ත මේ රෑ යාමේ දේ කුමුදු මලේ සිරියා” ගී ප්‍රධානය. ශ්‍රී චන්ද්‍රරතන මානවසිංහ, මඩවල එස්. රත්නායක, මහගමසේකර, සුසංයෝගයෙන් අමරදේවයන් ගැයූ ගුවන්විදුලි සුභාවිත ගීත අතිශය ජනප්‍රිය විය. “පටු අදහස් නම් පවුරින්”, “මළ හිරු බසිනා හැන්දෑ යාමේ”, “සන්නාලියනේ සන්නාලියනේ”, “මේ හිමිදිරි උදයේ”, “පිලේ පැදුර හේනට අරගෙන එනවා”, “තොටමුණ බද සිටි රුවන්මලී”, “ඈත කඳුකර හිමව් අරණේ”, “මින්දද හී සර වැදී සැලෙන හද”, “නිල් මහනෙල් මල් පිපුණා”, “වක්කඩ ළඟ දිය වැටෙන තාලයට”, “බඹරෙකු ආවයි නිරිත දිගේයා”, “ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන”, “මුනි සිරිපා සිඹිමින්නේ”, “ඔබේ නමින් සෑය බඳිමි”,“ජගත් මෝහිනී මධුර භාෂිනී”, “පාළු අඳුරු නිල් අහස මමයි”, “වැලිතල අතරේ හෙමිහිට බසිනා”, “විකසිත පෙම්”, කැපී පෙනෙයි.

පසුකාලීනව අරිසෙන් අහුබුදු, ඩෝල්ටන් අල්විස්, ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත්න, ඩබ්ලිව්.ඒ. අබේසිංහ, අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, රත්න ශ්‍රී විජේසිංහ, කුලරත්න ආරියවංශ, බණ්ඩාර කේ. විජේතුංග අමරදේවයන්ට ගේය පද ලියූහ. (නමක් ඇත්නම් කමත්වා)

“ගිලෙන් ඔබේ ගුණ මුහුදේ”, “සසර වසන තුරු”, “පෙර දිනයක මා පෙම් කළ යුවතිය”, “සුදු නෙලුම කෝ සොරබොර වැවේ”, “මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී”, “අඩවන් වූ දෙනෙතින් ගලනා”, “සඳකඩ පහනේ රූ සිරි වරුණේ”, “හඳ හොරෙන් හොරෙන්”, “ආරාධනා”, “බඹර පැටික්කී”, “සිහින නෙළුම් මල”, මේ ගී ගඟුලේ දිය දෝතකි.

1962 තිරගත වූ “රන් මුතු දූව”, නම් ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටයෙන් මුල්වරට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින අමරදේවයන් මුල්වරට තේමා සංගීතයක් නිර්මාණය කළ පුරෝගාමියා බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මතයයි. “රන් මුතු දූවට”, අමරදේවයන් නිර්මාණය කළ “පාරමිතා බල පූජිත පූරිත”, “ගලන ගඟකි ජීවිතේ”, “පිපී පිපී රේණු නටන”, ගීත තුළින් එතෙක් සිංහල චිත්‍රපට ගීතවලින් නෑසූ සුභාවිත ගීත ලෙස සම්භාවනාවට බඳුන් විය. නන්දා මාලිනිය සිනමා ගීතාවලියට මුලින්ම හඳුන්වා දෙන්නේ අමරදේවයන් විසිනි. මේ ගීත රචනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. ශ්‍රී ලංකේය සිනමාවේ ගීත නැති මුල්ම චිත්‍රපටය වූ “ගම්පෙරළිය”, චිත්‍රපටයේ පසුබිම් සංගීතය රචනයට මුල්ම සරසවි සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය.

අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර ගැටවරයෝ සාරවිට, දෙලොවක් අතර, රන්සළු, මඩොල්දූව, තුංමංහන්දිය සාගර ජලය, සැඩොල් කඳුළු, අහස් මාලිගා, සිංහාමි, අක්කර පහ, වඩාත් කැපී පෙනෙයි. මෙය අසම්පූර්ණ ලේඛනයකි.

අමරදේවයන් වෙනත් සංගීතඥයන් චිත්‍රපට සඳහා නිර්මාණ කරන ලද විශිෂ්ට ගායනා සඳහා සම්මාන රැසක් ලබා ගෙන ඇත. ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, ලයනල් අල්ගම, වික්ටර් රත්නායක, එඩ්වින් සමරදිවාකර, සංගීතඥයන් ඉහත කී සංගීතඥයන් වෙයි. මෙය අසම්පූර්ණ ලේඛනයකි. අද බොහෝ කලා උලෙළවල ගැයෙන්නේ “ජගන් මෝහිනී”, අභිනන්දන ගීතයයි. 1964 වසරේ පවත්වනු ලැබූ ප්‍රථම සරසවි සම්මාන උලෙළ සඳහා අමරදේවයන් තනුව නිර්මාණයකොට ගැයූ මේ ගීතය නිර්මාණය කිරීමට ඔහුට ආභාසය ලැබූ අයුරු ඔහු වරක් මෙසේ විස්තර කළේය.

“සරසවි දේවිය අභිනන්දනය කිරීම භාරතීය කලාකරුවන්ගේ ආවේණික අංගයක්. එවකට භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් රත්න ජංකර්තුමා දිල්ලි නගරයේ සරස්වතී පූජා උලෙළ වෙනුවෙන් භාරතීය ගුවන් විදුලියෙන් ගැයූ සරසවි ගීතයට මමත් ගායනයෙන් සහභාගි වුණා. මට තවම ඒ ගීතය මතකයි. (ගයා පෙන්වයි)

“හංස රූඪ වසඟ යුතා
ශාරද බ්‍රහ්ම පුත්‍රී…

මානවසිංහයන් රචනා කළ අභිනන්දන ගීය භාරතයෙන් ඇසුණු සරස්වතී ගීතවලට වඩා විශිෂ්ටයි. ඒ වන විට මම පදිංචිව හිටියේ බත්තරමුල්ලේ. අපි දෙන්නා මානවසිංහ සහ මා එළිමහට වී සඳ බලාගෙන කතා කරමින් තනුව දැමුවේ එදින රාත්‍රියේ. මම ඔහුගේ මුහුණ බැලුවා. මානවසිංහයන් මාව වැලඳගෙන විනාඩි කිහිපයක් ඉඳල මෙහෙම කිව්වා.

“අමරේ අපි අප්‍රමාණ මිනිස්සු නොවේද? ” අමරේ මම වැඩි කාලයක් ජීවත් වන්නේ නෑ. හැබැයි මේ ගීතය අමරණීය වෙනවා.

“මානවේ මූසල කතා කියන්න එපා”,

මානවසිංහයන් මුලින් ලියා තිබූ “සරස්වතී දේවි නමස්තේ සරස්වතී දේවි”, කොටස මම වෙනස් කරලා “සරස්වතී දේවි වන්දේ සරස්වතී දේවි” යයි වෙනස් කරමු දැයි ඇසුවා.

නොපැකිළිව ඔහු එය අනුමත කළා. මේ ගීතය කොටසක් මේ.

ජගන් මෝහිනී – මධුර භාෂිණී
චාරු දේහිනී – කමල වාසිනී
සරස්වතී දේවි – නමස්තේ – සරස්වතී දේවි

1963 විමලා ගුණරත්න සමඟ විවාහ වූ අමරදේව යුවළට දරුවන් තිදෙනෙකි. සුභානි, ප්‍රියංවදා හා රංජන ඔවුන්ගේ නම්ය.

මාලදිවයිනේ රජයේ ආරාධනයෙන් මාලදිවයිනේ ජාතික ගීය සඳහා තනුව නිර්මාණය කළේ අමරදේවයන්ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවලින් D.Litt ගෞරව උපාධි ලැබූ ඔහු 2001 පිලිපීනයේ මැනිලා නුවරදී රමෝන් මග්සයිසායි ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු ජීවමානව සිටියදී මුද්දරයකින් ද පිදුම් ලැබුවේය. මිය යන විට ආචාර්ය අමරදේවයන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද දැරීය. මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් අමරදේවයන්ට ආදරයෙන් කතා කළේ “අමාරුදේව” කියාය. අමරදේවගෙන් වැඩක් ගැනීම අමාරුකම නිසා මේ නම භාවිතා කළ බව පැවසේ.

2016 නොවැම්බර් 03 වැනිදා මේ අග්‍රගණ්‍ය කලාකරුවා ජීවිතයෙන් සමු ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT