Saturday, April 19, 2025
Home » කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය විධිමත් මාවතක

කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය විධිමත් මාවතක

by mahesh
November 3, 2023 1:00 am 0 comment

බුද්ධිකා බ්‍රහ්මණගේ

ශ්‍රමය ආර්ථිකයේ මූලික සම්පතකි. අන් සම්පත් සියල්ලට වඩා එය ඉහළින් පවතින්නේ මිනිස් ශ්‍රමය හා බුද්ධිය මෙන්ම පුහුණුව අවැසි තැන එය පිරිමැසීමට තාක්ෂණයට නොහැකි නිසාත්ය. පසුගිය වසර කීපයකම මෙරට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන ආදායම වූයේ විදෙස් සේවා නියුක්තියයි. කොවිඩ් සමයේ එය යම් පමණකින් අඩු වුවද මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය විදෙස් ප්‍රේෂණයි.⁣

ශ්‍රමය සඳහා හොඳ ආදායමක් මෙන්ම ඒ ලබන ආදායම ඵලදායි වෙන්නේ වැඩි ආදායමක් උපයාගත හැකි ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමෙන් මෙන්ම දේශීය ශ්‍රම අවශ්‍යතාවට ගැළපෙන අන්දමේ වෘත්තිකයින් බිහිකර ගැනීම තුළිනුයි. මේ වගකීම ද්විතීය මෙන්ම තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන ආයතන දරන අතර, මෙරට වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒ පිළිබඳව සුවිශේෂී කාර්යක් ඉටුකරයි.

ඒ පිළිබඳවත් මෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කළේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙහි (TVEC) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජානක ජයලත් සමඟයි.

නිදහසින් පසුව ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක අංග දියුණු වී පැවතියත් එය ක්‍රියාත්මක වූයේ නිසි සැලසුමකින් තොරවයි. ඒ සඳහා නිසි දැක්මක් මෙන්ම අන්තර්ජාතික ප්‍රමිතියක් අනුව ක්‍රමානුකූල බවක් එක්වූයේ 2004 වසරට පසුවයි.

ඒ අනුව වෘත්තීය පාඨමාලා සඳහා ප්‍රමිතියක් මෙන්ම සැලසුමක් හඳුන්වා දුන් අතර, එය ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQF) යනුවෙන් හඳුන්වයි. එමෙන්ම 2004දී පිහිටුවන ලද NVQ ක්‍රියාපටිපාටිය ශ්‍රී ලංකාවේ වෘත්තීය සුදුසුකම් ඇගයීම සඳහා පිහිටවු පළමු සුදුසුකම් රාමුවයි. NVQF ලෙස සහතික මට්ටමේ සිට වූ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි මට්ටම් දක්වා ඉහළට වෘත්තීය කුසලතා වර්ධනය කර ගත හැකි ආකාරයෙන් සකසා තිබේ. පාඨමාලාවේ ස්වභාවයට අනුව NVQ 1 සිට 7 දක්වා මට්ටම් හතකින් සමන්විත වේ. නමුත් රැකියාවේ ස්වභාවය අනුව සේවා ස්ථානයෙහි ලබාගත් අත්දැකීම් හා දරන වගකීම හා පුහුණුව තුළින් අපේක්ෂිත නිපුණතා මට්ටම් ළඟා කර ගෙන සිටී නම් එවැනි හැකියා ඇගයීමෙන් සහතික ලබාදීම ද සිදු කරයි. තම වෘත්තීය කුසලතාව සහතිකයකින් පෙන්වීමට නොහැකි වෘත්තිකයින්ට මෙම ක්‍රමය මහත් අස්වැසිල්ලක් වී ඇත. මෙම ක්‍රමය පෙර දැනීම අැගයීම හෙවත් RPL ක්‍රමය යනුවෙන් හැඳින්වෙයි

එපමණක් නොවේ NVQF මඟින් මෙතෙක් ශ්‍රී ලංකාවේ නොතිබූ ජාතික නිපුණතා සම්මත හඳුන්වා දීමට අමතරව මෙතෙක් අවිධිමත් ලෙස පවත්වාගෙන ගිය වෘත්තීය පුහුණු පාඨමාලා නිපුණතා පාදක පුහුණු පාඨමාලා බවට පරිවර්තනය කිරීම සිදු විය.

එතෙක් අවිධිමත් ලෙස පැවැත්වූ බොහෝ පාඨමාලා NVQ තත්වයට පරිවර්තනය කිරීම මේ අනුව සිදුවූ අතර, ශ්‍රී ලංකාව තුළ NVQ 1 සිට 7 මට්ටම එක් එක් වෘත්තීන් හා විෂයමාලාවන්ට අනුකූල වෙන ආකාරයෙන් පාඨමාලා 500ක් පමණ සංවර්ධනය කර ඇත. එම පාඨමාලා හා අගයීම් ක්‍රමවේදය ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල වෘත්තීය මට්ටම් ඇගයීමේ ක්‍රම ශිල්ප පිළිබඳව අධ්‍යයනයකින් පසුව සංවර්ධනය කර තිබේ.

TVEC හී www.tvec.gov.lk අඩවියට අනුව වෘත්තීන් සඳහා ලියාපදිංචි ආයතන 1200ක්, ලියාපදිංචි පාඨමාලා 6000ක් සහ ඒ අතර, මේ වන විට පිළිගත් NVQ පාඨමාලා 3000ක් පමණ පවතී. මෙසේ ලියාපදිංචි පාඨමාලා ක්‍රියාත්මක කරන ආයතන අතරින් 50%ක් පමණ පෞද්ගලික අංශයේ වන අතර, රාජ්‍ය අංශය සතුව මධ්‍යස්ථාන 600කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත වී තිබේ. මෙම TVET පද්ධතිය අධ්‍යාපන අමාත්‍යාංශය හා තෘතිය හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් නියාමනය කිරීම සිදු වෙයි. මෙම සියලුම අධ්‍යාපන මධ්‍යස්ථාන සහ පාඨමාලා සඳහා1990 දී පිහිටුවන ලද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තත්ත්ව සහතික කිරීම සිදු කරයි.

මේ අනුව 2022 අවසන් වන විට NVQF මට්ටම නියෝජනය කරමින් තත්ත්ව සහතික හා සුදුසුකම් සහිත NVQ සහතික දරන්නන් 600,000 පමණ සිටින බවට අනාවරණය වෙයි. මෙසේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම නිසාම දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිපුන ශ්‍රම බලකායක් සැකසීමට හැකියාව ලැබී තිබේ.

තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් ඉගෙනුම් පද්ධති නවීකරණය හා නවෝත්පාදනය සඳහා දුරස්ථ ඉගෙනීම, මාර්ගගත ඉගෙනීම සහ මිශ්‍ර ඉගෙනීම (Blended learning) පිළිබඳව හා ඇගයීමේ ක්‍රමවේද සැකසීම සඳහා විශේෂ අවධානයක් යොමු කොට ඇත. වසංගත හෝ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමේදී ඩිජිටල් හා මාර්ගගත තාක්ෂණයන් භාවිතයෙන් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පහසු කිරීම මින් අපේක්ෂිතයි. එමෙන්ම විෂයමාලා සැකසීම මෙම නවෝත්පාදන පද්ධතියේ ප්‍රධාන අභියෝගයක් වන අතර, ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා අවැසි කර්මාන්ත කුසලතා ඉල්ලීමට සරිලන ආකාරයෙන් විෂයමාලා යාවත්කාලීන කළ යුතු වී තිබේ.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව රේඛීය අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සාක්ෂාත් කර ගැනීම සඳහා TVET අංශයට අලුතින් ඇතුළත් වූවන් මෙන්ම කිසිදු සුදුසුකමක් හෝ සහතිකයක් නොමැති රැකියා නියුක්ත පුද්ගලයන් පුහුණු කිරීම, අගයීම් කිරීම සහ සහතික කිරීම සඳහා විවිධ මාර්ගගත පද්ධති සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.

1. නිපුණතා පදනම් කර ගත් පුහුණුව

නිපුණතා පාදක පුහුණුව (CBT) යනු TVET මඟින් ලබාදෙන විශේෂ ඉගෙනුම් ආකෘතියකි. එහිදි සිසුන් ඊළඟ මට්ටමට යාමට පෙර එතෙක් හදාරන ලද පාඨමාලාවට අදාළ මට්ටමේ දැනුම, කුසලතා හා ආකල්ප (නිපුණතාවය) ප්‍රදර්ශනය කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ VTA, NAITA, NYSC සහ DTET වැනි විවිධ NVQ මට්ටම් සඳහා පාඨමාලාවන් පවත්වන ආයතන 1200ක් පමණ ඇත. අනිවාර්ය ලියාපදිංචිය, පාඨමාලා ප්‍රතීතනය, තත්ත්ව කළමනාකරණ පද්ධති (QMS) සහ සාමාන්‍ය සහ අහඹු විගණන සමඟ මෙම පාඨමාලා TVEC විසින් අපේක්ෂිත ප්‍රමිතිය සුරැකීමට කටයුතු කරයි. මෙම ආයතන සඳහා සිසුන් 150,000 – 250,000 පමණ එක් එක් වසරකට බඳවා ගන්නා අතර, වසරක් තුළ NVQ පාඨමාලා 3000ක් සහ NVQ නොවන පාඨමාලා 3000ක් පමණ පැවැත්වීම සිදු කරයි.

ආයතනික පුහුණුවෙන් පසුව රැකියා ගත පුහුණුව (OJT) සම්පූර්ණ කරන අයට නිපුණතා පාදක ඇගයීමකින් පසු TVEC මඟින් NVQ සහතික පත නිකුත් කරනු ලබන අතර, QR කේතය හෝ වෙබ් අඩවිය (www.nvq.gov.lk) භාවිතයෙන් සියලුම සිසුන්ගේ තොරතුරු මාර්ගගතව පරීක්ෂා කළ හැකිය.

2. පෙර ඉගෙනීම හඳුනා ගැනීම (RPL)

පූර්ව ඉගෙනුම් කුසලතා හඳුනා ගැනීම අවිධිමත් ඉගෙනුම් හඳුනා ගැනීමට සහ අදාළ වෘත්තීන්හි ජාතික වෘත්තීය සුදුසුකම් (NVQs) ප්‍රදානය කිරීම සඳහා භාවිතා කරයි. ජාතික නිපුණතා ප්‍රමිති (NCS) හි නිශ්චිතව දක්වා ඇති නිපුණතා අනුව නිපුණතා පදනම්ව තක්සේරු කිරීමේ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව මෙම සුදුසුකම් පිරිනැමීම සිදු කරයි. පහත සඳහන් රැකියා කාණ්ඩ හරහා නිපුණතා ලබා ගත් පුද්ගලයින්ට RPL මාදිලිය හරහා අයදුම් කළ හැකිය (TVEC චක්‍රලේඛ NVQ 02/2021).

අපේක්ෂකයින්ගේ රැකියා ක්ෂේත්‍රය අවිධිමත් අංශයේ ස්වයං රැකියා වෘත්තීන් විය හැකියි. උදාහරණයක් ලෙස පෙදරේරු සේවය වැනි සේවාවන් “තමන්ගේම ගිණුම් සේවකයින්” යනු ව්‍යාපාර ලියාපදිංචි සහතිකය නොමැති ස්වයං රැකියාලාභීන්) සියලුම වෘත්තීන්හි විධිමත් අංශයේ සේවය කරන කම්කරුවන් හෝ ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහිත ස්වයං රැකියාලාභීන්ට මේ අනුව තම වෘත්තීය නිපුණතා අනුව සහතිකයක් ලබාගත හැකියි.

3. පරිණත නිපුණතා ක්‍රමවේදය (Mature candidate route)

මෙය රැකියා වෙළඳ පොළේ රැකියා අවස්ථා පවතින අදාළ අංශවල සහ අදාළ උප අංශවල ඔවුන්ගේ පරිණතභාවය / පළපුරුද්ද තුළින් NVQ 5 මට්ටමට සමාන සුදුසුකමක් ලබා ගැනීමට විකල්ප මාර්ගයකි. එවැනි පුද්ගලයින් අදාළ අංශයට හෝ උප අංශයට සීමා වූ අධීක්ෂණ කාර්යයන් ඉටු කිරීම සඳහා NVQ 5 වැනි මට්ටමට ( ඩිප්ලෝමා) සමාන සුදුසුකමක් සඳහා අගයීම කර ගත හැක . මෙම සුදුසුකම් යෝජනා ක්‍රමය වලංගු වන්නේ සේවා නියුක්ති අරමුණු සඳහා පමණි. අවම පළපුරුද්ද වසර 10ක් ලෙස සලකන අතර අවිධිමත් ඉගෙනුම් හඳුනා ගැනීමට මාර්ග හතරක් ඇත.

4. විධිමත් නොවන ඉගෙනුම් හෝ සාම්ප්‍රදායික පාඨමාලා විධිමත් සුදුසුකම් බවට පත් කිරීම

ජාතික වෘත්තීය සුදුසුකම් සමඟ කිසිදු පිළිගැනීමක් නොමැති විවිධ NVQ නොවන සහතික, TVEC ආයතනය විසින් අනුමත ක්‍රියාවලියක් හරහා අදාළ NVQ මට්ටමට සැකසීම සිදු කරයි. මෙම පාඨමාලා සඳහා NVQ ක්‍රමය ස්ථාපිත කිරීමට පෙර පැවති සාම්ප්‍රදායික පාඨමාලා, විදේශීය සුදුසුකම් ආයතන විසින් නිකුත් කරන ලද සුදුසුකම් සහ විධිමත් නොවන ඉගෙනුම් ලබා ගත් ආධුනිකත්ව සහතික ඇතුළත් විය හැක. මෙම පාඨමාලා අදාළ ප්‍රමිතීන් පිළිබඳව විශේෂඥ මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරනු ලබන අතර, සවිස්තරාත්මක විෂය මාලාව, ඍජු හා වක්‍ර ඉගෙනුම් වේලාවන්, ඉටු කරන ලද ප්‍රායෝගික වැඩ සහ ඉගෙනීමේ ගුණාත්මක අංශ වැනි සාක්ෂි සලකා බලයි.

සාර්ථක ඇගයීමෙන් පසුව, අදාළ NVQ මට්ටම සහ නිර්ණායක TVEC වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලබන අතර අපේක්ෂකයින්ට සහතික ඉදිරිපත් කළ හැකි අතර, NVQ සමාන තත්ත්වය මෙසේ සුදුසුකම් සපුරන පුද්ගලයන්ට ලබා ගත හැකිය (TVECචක්‍රලේඛ NVQ 05/2021)

5. බාහිර අපේක්ෂක ක්‍රමවේදය හරහා විධිමත් නොවන සහ කර්මාන්ත පදනම් කරගත් ඉගෙනුම් පිළිගැනීම සිදු කරයි.

වසර 8ක් හෝ ඊට වැඩි කාලයක් කර්මාන්තයක නියුතුව සිටි පරිචයක් අත්කරගත් වෘත්තියින්ගේ දැනුම හා කුසලතා අගයා සහතික පිරිනැමීම මින් සිදු වෙයි. අදාළ අංශයේ අවම වශයෙන් අවුරුදු 3ක අධීක්ෂණ පළපුරුද්දක් සහිත (ස්වයං රැකියාලාභීන්) NVQ 4 ඇති අපේක්ෂකයින් නියමිත ක්‍රියාවලියට අනුව NVQ 5/6 පිරිනැමීමට මෙම ක්‍රමය සඳහා සුදුසුකම් ලබයි.

අපේක්ෂකයා අධීක්ෂණ මට්ටමින් අත්දැකීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළ විට ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ වේ. එවිට බාහිර මණ්ඩලයක් අපේක්ෂකයාගේ අවබෝධය සහ නිපුණතා ප්‍රමාණවත් ලෙස ඇගයීමට ලක් කරයි. අයදුම්කරු පසුව අදාළ පිළිගත් පාඨමාලා ඇති පුහුණු සපයන්නා සමඟ ලියාපදිංචි වී පාඨමාලා වැඩ, නිබන්ධන පැවරුම් ඉටු කර අධ්‍යයන වාරයේ අවසාන විභාග සඳහා පෙනී සිටිය යුතු වෙයි. සියලුම පාඨමාලා වැඩ සහ විභාග සාර්ථක වූ පසු අධීක්ෂක වාර්තා, වීඩියෝ, ඡායාරූප වැනි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපේක්ෂකයාගෙන් ඉල්ලා සිටී. නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආදිය සාර්ථක නම් NVQ 5/6 පිරිනැමීම නිර්දේශ කරයි.

6. සාම්ප්‍රදායික TVET සුදුසුකම් Mapping process සඳහා භාජනය කරනු ලැබේ. එහිදී එම සුදුසුකම් විශේෂ කමිටුවක් හරහා NVQ මට්ටම් සඳහා සම්පාත කිරීමට කටයුතු කරනු ලැබේ මෙසේ කටයුතු කිරීමේ දී එම පුහුණුව ලබා දුන් ආයතනයේ තත්ව පාලනය පිලිබඳ විශේෂ ඇගයීමකින් පසු එම සමාන තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබේ එවැනි සමාන පාඨමාලා සඳහා NVQ මට්ටම් ලබාදීම TVEC ආයතනය මගින් සිදු කරනු ලැබේ

7. නම්‍යශීලී ඉගෙනුම් ආකෘතිය (FLM)

නම්‍යශීලී ඉගෙනුම් ආකෘතියේ පරමාර්ථය වන්නේ රාජයේ සංවර්ධන සැලසුම් ගෝලීය කාර්මික සංවර්ධන මට්ටම (සිවුවන කාර්මික විප්ලවය 4IR) සහ ශ්‍රම ඉල්ලුමට අනුකූලව ගෝලීය තාක්‍ෂණයේ වෙනස්වීම් සමඟ කුසලතා ඉහළ නැංවීම හෝ ප්‍රතිනිර්මාණය කිරීම වේ. එමගින් වෘත්තිකයින්ට ඔවුන්ගේ වෘත්තීය අවසන් කරන තෙක් කුසලතා මට්ටම් වැඩිදියුණු කිරීමට අවස්ථා මින් විවෘත කිරයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ශ්‍රම බළකාය අතර තාක්ෂණය පදනම් කරගත් කුසලතා ගොඩනැඟීමට ප්‍රවර්ධනය කරන වෙළෙඳ පොළ මෙහිදී ඉලක්කගත කෙරේ.

පෞද්ගලික අංශයේ ආයතනවල සේවයේ නියුතු සේවකයන්ට නම්‍යශීලී ඉගෙනුම් ක්‍රමය යටතේ ප්‍රතීතනය ලත් පුහුණු මධ්‍යස්ථාන තුළ කුසලතා සහ ප්‍රතිනිර්මාණය සඳහා පුහුණු කළ හැකිය. පිළිගත් පාඨමාලාවක සෑම පාඩම් මාලාවක්ම කෙටිකාලීන, අර්ධකාලීන මොඩියුලර් පාඨමාලාවක් ලෙස ස්වාධීනව ඉදිරිපත් කළ හැකිය. එවැනි කුඩා පාඨමාලා පුහුණු මධ්‍යස්ථානය විසින් අවසන් කිරීමෙන් පසු, ඉල්ලා සිටින ඒකක සඳහා ස්වාධීන NVQ ඇගයුම් කරුවන් දෙදෙනෙකු විසින් ඇගයීමක් පවත්වා NVQ රාමුව යටතේ ඒකක සහතිකයක් Unit certificate නිකුත් කරන ලෙස තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව වෙතින් (TVEC) වෙතින් ඉල්ලා සිටිය හැක.

වෘත්තීය සුදුසුකමක් අදාළ අපේක්ෂකයා පූර්ණ කර ඇති දැයි ඕනෑම අයෙකුට තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසී සත්‍යාපනය කළ හැකිය. මෙසේ සම්පූර්ණ කරන ලද සහතික සහතිකලාභියාගේ දත්ත ගබඩාවට එක් කෙරේ. මෙම දත්ත වෙබ් අඩවිය වෙත එක් කිරීම පනතට අනුව අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයකි. මෙම දත්ත පද්ධතියට පිවිසීමෙන් ලෝකයේ ඕනෑම තැනක සිට යම් පුද්ගලයෙක් ලබා ඇති හෝ ලියා පදිංචි වී ඇති සුදුසුකම් සත්‍යයාපනය කළ හැකි වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT