ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට පාකිස්තානය සමත් විය. මෙවර තරගාවලියේ සිය තෙවැනි ජය වාර්තා කළ පාකිස්තාන පිල මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට සමත් වූයේ 7 වැනි ස්ථානයේ සිටය.
තරගාවලියේ 31 වැනි තරගය ලෙස කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 45.1කදී සියල්ලන් දැවී ලකුණු 204ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය පාකිස්තානය ඕවර 32.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.
9 වැනි තැන පසු වූ බංග්ලාදේශයට හිමි වූ 6 වැනි පරාජය මෙයයි.
පාකිස්තාන පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ෆකර් සමාන් සහ අබ්දුල්ලා ශෆීක් පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 128කි. පන්දු 69කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 68ක් රැස් කළ ශෆීක් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වුවද සමාන් ලකුණු 81ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඔහුගේ ඉනිම පන්දු 74කදී හතරේ පහර 3කින් සහ හයේ පහර 7කින් වර්ණවත් වූ අතර, මොහොමඩ් රිස්වාන් නොදැවී පන්දු 21කින් 26ක් ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 17ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළහ.පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශයට අභියෝග කළ පාකිස්තාන පන්දු යවන ශහීන් ෂා අෆ්රිඩි පළමු ඕවරයේදීම පළමු කඩුල්ල බිඳ දැම්මේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙරය. ඉන් නොනැවතුණු අෆ්රිඩි තෙවැනි ඕවරයේදී තවත් කඩුල්ලක් බිඳ දැමූ අතර, ලකුණු 23ක් වන විට බංග්ලාදේශයට කඩුලු 3ක් අහිමිව තිබිණි.
ආරම්භක පිතිකරු ලිටන් දාස්ට එක් වූ මහමුදුල්ලාහ් ලකුණු 79ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ලකුණු 102 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, ලකුණු 45ක් රැස් කර සිටි දාස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. මුළු ලකුණු 130දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මහමුදුල්ලාහ් දැවී ගියේ අෆ්රිඩිට තෙවැනි කඩුල්ල හිමි කර දෙමිනි. පන්දු 70කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 56කි.
නායක ශකීබ් අල් හසන් ලකුණු 43ක් සහ මෙහෙදි හසන් මිරාස් ලකුණු 25ක් ඉනිමට එක් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. බංග්ලාදේශ අවසන් කඩුලු 3 ලකුණු 4ක් තුළ දවා ගැනීමට මොහොමඩ් වසීම්ට හැකි විය. එම පිතිකරුවන් තිදෙනාම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යෑම කැපී පෙනිණි.
බංග්ලාදේශය – 204 (ඕවර 45.1) මහමුදුල්ලාහ් 56, ලිටන් දාස් 45, ශකීබ් අල් හසන් 43 (ශහීන් ෂා අෆ්රිඩි 23/3, මොහොමඩ් වසීම් 31/3, හාරිස් රවුෆ් 36/2)
පාකිස්තානය – 205/3 (ඕවර 32.3) ෆකර් සමාන් 81, අබ්දුල්ලා ශෆීක් 68 (මෙහෙදි හසන් මිරාස් 60/3)