Home » ඉන්දීය මුදල් ඇමති මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

ඉන්දීය මුදල් ඇමති මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

by chanaka
November 1, 2023 10:28 pm 0 comment

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද (01) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදුටුවාය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව එහි දී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලංකීය ජනතාවගේ කෘතඥතාව ඇයට හිමිවන බව ද උන්වහන්සේ සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙමින් නිරන්තරව සහෝදර රටක් ලෙස සහයට සිටි බවත් ඉදිරියේදීත් එම සහෝගය අපේක්ෂා කරන බවත් කී මහනාහිමියෝ දෙරට අතර පවත්නා ආගමික හා සංස්කෘතික බැඳීම තව දුරටත් වර්ධනය වීමට මෙය හේතු වනු ඇති බව ද අවධාරණය කර සිටියේය.

සහෝදර රටක් ලෙස ඉන්දීය නිරන්තරව ශ්‍රී ලංකාවේ සහයට සිටින බව මෙහි දී සීතාරාමන් මහත්මිය සඳහන් කළාය.

ඉන්දීය මුදල් ඇමැතිවරිය අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක සාකච්ඡාවක නිරත විය.

අනතුරුව ඇය ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මහා විෂ්ණු දේවාලය වන්දනා කිරීමට ගියාය.

මෙහි දී අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරාක බාලසූරිය මහතා ඩොලර් මිලියන 15 ක මුදලක් විහාරස්ථාන සංවර්ධනය සඳහාත් තවත් ඩොලර් මිලියන 10 ක් විහාරස්ථාන වල සූර්ය පැනල සවි කිරිමටත් ඉන්දීය රජය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත වෙන්කර ඇති බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය කී බවද පැවසීය.

ඊට අමතරව වතුකරයේ නිවාස 10000 ක් ඉදි කිරිමට සැළසුම් කර තිබෙන බවත් ඊට අදාළ උත්සවයකට ද ඉන්දීය මුදල් ඇමැතිවරිය සහභාගි වන බවත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා.එස්.මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එස්.සෝමරාජ් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT