Home » බළන්ගොඩ යහළවෙල මානවයාගේ වලස්තැන්න ගොවි කෞතුකාගාරය

බළන්ගොඩ යහළවෙල මානවයාගේ වලස්තැන්න ගොවි කෞතුකාගාරය

by sachintha
November 1, 2023 1:07 am 0 comment

පාසල් දරුවන් සඳහා ඉපැරණි ගොවි උපකරණ හා ගොවීන් භාවිත කළ උපකරණ පිළිබඳ දැනුම ලබා දීමටත් ඒවා පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමටත් අද වන විට එවැනි උපකරණ සොයාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. ඒ නවීණ තාක්ෂණය ඔස්සේ ගොවිතැන ද වෙනස් වී ඇති නිසාය.

රත්නපුර, බළන්ගොඩ යහළවෙල මානවයාගේ වලස්තැන්න ගොවි කෞතුකාගාරය හා ගොවි නිවහන දරුවන්ට ඉපැරණි ගොවි උපකරණ පිළිබඳ ප්‍රායෝගිකව අවබෝධය ලබා දීමට කදිම ස්ථානයකි.

බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යහළවෙල ග්‍රාමනිලධාරි වසමේ සපුගහකුඹුර ගම්මානයේ වලස්තැන්න වෙල්යාය අසල පිහිටුවා ඇති මෙම ගොවි කෞතුකාගාරය හා ගොවි නිවහන කුඹුරක ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කළ එකක්වීම විශේෂත්වයකි.

බළන්ගොඩ යහළවෙල මානවයාගෙන් පැවත එන යහළවෙල ආරච්චිලාගේ සරත් වීරවංශ මහතා හා ඔහුගේ බිරිඳවූ පී. ආර්. ගුණවති වීරවංශ මහත්මිය එක්වී මෙම අපූරු ස්ථාන ගොඩනංවා පවත්වාගෙන යති.

“මම අනෙක් ගොවීන් මෙන් ජනප්‍රිය වී වර්ග වවනවා වෙනුවට මගේ කුඹුරේ කන්නයෙන් කන්නයට මාරුකරමින් අපි වගාකරන්නේ කළු හීනැටි, කුරුළුතුඩ, රත්දැල්, සුවඳැල්, මඩතවාලු වගේ වී වර්ග. ඉතිං මේවා මාස තුනක් විතර දවාලට රිළවු හා රාත්‍රියට ඌරන්ගෙන් ආරක්ෂා කර ගන්න ඕන. ඉතිං මමයි නෝනයි දවල් රෑ දෙකේ දෙන්න එක්ක ගොවිතැන සතුන් ගෙන් ආරක්ෂා කර ගන්න පොඩි පැලක් අටවාගෙන තිබුණා. පසුව මැටිගසා එය වැඩි දියුණු කර පරණ ගොවි උපකරණ ටිකකුත් මෙහි තැබුවා. දිනක් එය දැකපු සබරගමු පළාත් සභාවේ හිටපු සංස්කෘතික ඇමැති භාණු මුරුප්‍රිය මහතා මගෙන් ඉල්ලා සිටියා. පාසල් දරුවන්ට ප්‍රයෝජනවත් වන විදිහට මෙය සංවර්ධන කර හදන්න කියා ඒ අනුව තමයි. මෙම ඉපැරණි ගොවි උපකරණ කෞතුකාගාරයත් ගොවි නවහනත් ගොඩනැඟුණේ “ තමා උත්සාහයේ ප්‍රතිඵල ලබන සරත් වීරවංශ මහතා පැවසුවේය.

සරත් වීරවංශගේ මෙම උත්සාහය දුටු හා ආරංචි වූ බොහෝ දෙනෙක් තමන් සතුව තිබූ ඉපැරණි ගොවි උපකරණ හා ද්‍රව්‍ය මෙම ස්ථානයේ තැන්පත් කිරීමට ගෙනැවිත් දී ඇත. අද වන විට මෙහි වසර 200ට වඩා පැරණි වී කූඩයක් ඇතුළු ඉපැරණි ගොවි උපකරණ රැසක් ප්‍රදර්ශනයේ තබා ඇත.

මෙය නැරඹීම සඳහා නිශ්චිත මුදලක් අය නොකරන අතර කැමැත්තෙන් ලබා දෙන මුදලක් පමණක් එහි ආරක්ෂිත කටයුතු වෙනුවෙන් ලබාගනී. මේ වන විට කෞතුකාගාරයට නුදුරින් ගොඩනඟා ඇති ගොවි නිවහනේ අවශ්‍ය අයට නවාතැන් මෙන්ම ගැමි ආහාරපාන ද ලබා ගත හැකි අතර එලෙස නවාතැන් ගන්නා අයට බූරු ඇඳන් හා බිම පැදුරේ නිදියන්නටත්, විදුලි ආලෝකය වෙනුවට ලන්තෑරුම් එළිය හා ගිනිමැළය යොදා ගන්නටත් සිදු වන බව සරත් වීරවංශ මහතා පවසයි. ඒ අසලම ගස් මුඳුනක සකස් කර ඇති පැල ද සිවු දෙනකුට රැඳී සිටිය හැකි සේ තනා ඇති අතර එය ද අලංකාර ලෙස සකසා ඇත.

පිටතින් පැමිණ ගොවි නිවහනේ රැඳෙන අයට අතුල්පත්වල කෙසෙල් කොළ හා කැන්ද කොළ එළා ඉපැරණි සහලින් හෝ කැකුළු සහලින් පිළියෙල කරන ලද බත් හා ගොවි නිවහන අසල ඇති කොරටුවේ වවා ඇති එළවළු කඩා එවලේම කැමැත්ත පරිදි සකස් කරවාගෙන ආහාරයට ගැනීමට අවස්ථාව ලැබීම මෙහි තවත් විශේෂත්වයකි.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT