ලෝක නගර දින යෙදුණු ඊයේ(31) මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල පොදුජන අයිතියට පත් කිරීම අනුරාධපුර පණ්ඩුලගමදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවනැල්ල යටතේ තිබෙන ලෝකයේ පැරණිම නගරයක් හැටියටයි අනුරාධපුර නගරය ලෝක බෞද්ධ ජනතාව සලකන නිසාම මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සුවිශේෂ නගරයක විශේෂ රාජ්‍ය කාර්යාලයක් බවයි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන පුණ්‍ය භූමිය ඇති මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විශේෂ කාර්යාලයක් ලෙස කටයුතු කරගෙන යාමේ ආදර්ශයක් බව ද එහිදී ප්‍රකාශ විය
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
අවුරුදු ගණනාවක් පුරා මේ ප්‍රදේශයට පැමිණ නේවාසික වුණු අයට රජයේ ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉඩම් අයිතිය අද ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ඩිජිටල් ව්‍යාපෘතිය අනුව මෙහි නිවාස 22000 ම ඩිජිටල්කරණයට පත්කර ගෙදර සිට පණිවිඩ ලැබිය හැකි අවස්ථාවකට අප පිවිසෙනවා. අලුත් දෙයක්, ලෝකයේ පැරණිතම නගරය. තාක්ෂණයෙන් අනූන ස්ථානයක් බවට පත් කරන්න පදිංචිකරුවන් සැමදෙනාට නව ඩිජිටල් ජාලය ඔස්සේ කටයුතු කරන්නට පුළුවන්කම තිබිය යුතුයි. ඒ බව සනාථ කරන ක්‍රියාදාමයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපේ අමාත්‍යාංශය මඟින් වෙන්කර තිබෙනවා.
නේවාසික සැමදෙනාට සේවාවන් සැපයීම පහසු කරන්න, ඔවුන් ගත කරන කාලය අවම කරන්න මෙම වැඩපිළිවෙළ මගින් හැකියාව ලැබෙනවා. තොරතුරු තාක්ෂණය හැම දෙනාගෙම අතේ තියෙනවා. ජංගම දුරකථනයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් අලුත් පරම්පරාවක් ගෙදර දොරේ බිහිවෙනවා.ඒ පරම්පරාවටත් මේ කටයුත්තට දෙමාපියන්ට සහාය දක්වන්න පුළුවන්.
ගොවිතැන් බත් කරන ජනතාවට පුළුවන් දස දහස් ගණන් වන්දනාමාන කරන ජනතාවට බත සපයන්න. වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමේ සැලැස්මක් ඇති කිරීම සඳහා රජය දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාමසේවක කොට්ඨාශයකින්ම අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, අනුරාධපුර දිසාපති එම්.ජේ.කේ ජයසුන්දර , හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රන්ජිත්, මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම්, නිලධාරීන්, පොදු ජනතාව මෙම අවස්ථාවට සහභාගි වූහ.