Home » “ඉමියුනොග්ලොබින්” බාල බෙහෙත් ගෙන ආ සමාගමේ හිමිකරු CID අත්අඩංගුවට

“ඉමියුනොග්ලොබින්” බාල බෙහෙත් ගෙන ආ සමාගමේ හිමිකරු CID අත්අඩංගුවට

by chanaka
November 1, 2023 9:10 am 0 comment

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් (mmunoglobulin) නම් ප්‍රතිදේහ ඖෂධ කුප්පි ආනයනය කළ සමාගමේ හිමිකරු අරුණ දීප්තිව නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට සහ අදාළ සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනම් කිරීම ද ඊයේ (31) සිදුකර තිබුණි.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ අදාළ සැකකරුවන් රට හැර යාමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසුවය.

ඒ අනුව, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර හා අදාළ ඖෂධ මෙරටට ගෙන්වන ලද සමාගමේ අධ්‍යක්ෂ ජානක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’ යන අයට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, පරීක්ෂණ කටයුතු අවසන් කරන තෙක් මෙම වාරණය පනවන ලෙසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT