බ්‍රිතාන්‍ය පුරවැසියකු වන බැවින් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් අනිල් හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමක් ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (31) තීරණය කළේය. ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල දෙකට එකක් ලෙස වන බෙදුණු තීන්දුවකින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී.
පෙත්සම විභාගයට ගනු ලැබු අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් පෙත්සම නිෂ්ප්‍රභ කරමින් විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව ලබා දෙන ලදි. අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා වෙනම තීන්දුවක් ලබා දුන්නේය.
තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ පෙත්සම්කාර ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික සහ සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බවය.
වගඋත්තරකාර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ කීර්තිනාමය පළුදු කිරීමට සහ ද්වේශසහගතව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවට එම විනිසුරු මඬුල්ල විසින් තීන්දු කර තිබේ. තමා ඉදිරිපත් කළ කරුණු ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් පෙත්සම්කරු ඉල්ලා සහන කිසිවක් ලබා දීමට සුදුසු නොවන බව එම තීන්දුවේ සඳහන් වේ. එසේම මෙම සම්පූර්ණ පෙත්සමම සත්භාවයෙන් තොරව ඉදිරිපත් කර ඇති බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර ඇත. මහජනතාවට වැදගත් වන කරුණක් සම්බන්ධයෙන් වන පෙත්සමක සැඟවුණු දේශපාලන අරමුණු සහ න්‍යාය පත්‍රයෙන් තොරව ඉදිරිපත් විය යුතු බවට විනිසුරු මඬුල්ල විසින් පෙන්වාදී ඇත.
මහජන සුභ සාධනය සඳහා වන පෙත්සම් ඉදිරිපත් කරන්නේ නම් එය සදාචාර විරෝධී නොවිය විය යුතු අතර එමඟින් ලාභ අපේක්ෂා නොකළ යුතු බව ද පෙන්වා දෙන විනිසුරු මඬුල්ල එවැනි පෙත්සම් සත් භාවයෙන් යුතුව ඉදිරිපත් කළ යුතු බවට අවධාරණය කර ඇත. රාජ්‍ය ඇමැති ඩයනා ගමගේට එරෙහිව ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම පෙත්සම්කරුගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රීති වලට අනුකූලව ඔහු ඉල්ලා සිටින සහන කිසිවක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දී තිබේ. පෙත්සම්කරු ඉල්ලා සිටින පරිදි වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය ප්‍රශ්න කරන ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කිරීමට නම් ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතු බව විනිසුරු මඬුල්ල විසින් පෙන්වාදී ඇත.
එහෙත් පෙත්සම්කරු විසින් එවැනි කිසිදු සාක්කියක් ඉදිරිපත් කර නොමැති අතර අපරාධ නඩුවකට අදාළව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය විසින් ලබාදුන් සාක්ෂි පමණක් ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අදාළ තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.
නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයා පොලිසියට කරන ලද ප්‍රකාශය පිළිබඳ පමණක් පෙත්සම්කරු විශ්වාසය තබා ඇති බව ද එමඟින් පෙන්වා දී ඇත.
සාක්ෂි ආඥා පනත අනුව එය අධිකරණයට පිළිගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවට විනිසුරු මඬුල්ල විසින් සඳහන් කර ඇත .
එසේම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශ සාක්ෂි ආඥා පනත අනුව පිළිගත නොහැකි බව ද විනිසුරු මඬුල්ල විසින් තීන්දු කර තිබේ.
තමන්ට එරෙහි අපරාධ නඩුවට අදාළව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ කරුණු පමණක් මෙම පෙත්සම සමඟ ඉදිරිපත් කර ඇති අතර එය පෙත්සම්කරුගේ වාසියට නඩුව තීන්දු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර ඇත.
එසේම පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින සහනයක් ලබාදීමට තරම් වගඋත්තර කාරියට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අසමත් වී සිටින බව අදාළ තීන්දුවේ සඳහන් වේ.
එබැවින් පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබාදිය නොහැකි බවට තීන්දු කර පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන කිරීමට ද්විපුද්ගල විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.
එම තීන්දුවට වෙනස් බෙදුණු තීන්දුවක් ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා සඳහන් කළේ පෙත්සම්කාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ජනතාවට වග විය යුතු බවය.
ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට විනිවිදභාවයෙන් යුක්ත ආදර්ශයක් විය යුතු බවය.
පෙත්සම් කරුගේ ස්ථාවරය සහ ඔහු ඉදිරිපත් කළ කරුණු අභියෝගයට ලක් කිරීම වෙනුවට තමා ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය විසින් ඔප්පු කළ යුතු බවට විනිසුරු මරික්කාර් මහතා විසින් තීරණය කර තිබේ.
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු වන්නේ කවර හේතුවක් මත ද යන්න ඔප්පු කිරීමට වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය අපොහොසත් වී ඇති බව එම තීන්දුවේ සඳහන් වේ. පෙත්සම්කරු විසින් බැලූ බැල්මට නඩුකරයක් ඉදිරිපත් කර ඇති අතර එමඟින් චෝදනා කළ පරිදි සිය පුරවැසිභාවය තහවුරු කිරීමට වගඋත්තරකාරිය අපොහොසත් වී ඇති බවට එම තීන්දුව මඟින් පෙන්වා දී ඇත. එබැවින් සභාපති විනිසුරුවරයාගේ තීන්දුවට තමාට එකඟ විය නොහැකි බවට විනිසුරු මරික්කාර් මහතා විසින් සඳහන් කර තිබේ. ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු ධුරය දැරීමට සුදුසු නොවන බවට තීන්දු කරමින් ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කිරීමට විනිසුරු මරික්කාර් මහතා විසින් නියෝග කර තිබේ.
පෙත්සම සම්බන්ධයෙන් වන නඩු ගාස්තුව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය විසින් පෙත්සම්කාර ඕෂල හේරත් මහතාට ගෙවිය යුතු බවට ද විනිසුරුවරයා විසින් තීරණය කරන ලදි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරු හමුවේ මෙම පෙත්සම පළමු වරට විභාගයට ගෙන අවසන් කර තිබුණි.
අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කිරීමට ඉකුත් දා පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඬුල්ල සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් බෙදුනු තීන්දුවක් ඇති බවය.
ඒ අනුව නව විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු සලකා බැලීම සඳහා තීරණය කෙරිණ. අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම්. ඒ. ආර්. මරික්කාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන් හමුවේ පෙත්සම් විභාගය දෙවන වර සිදු කරන ලදි.
එහි විභාගය අවසන් කරමින් තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබුණි.
නෙල්කා මැදගෙදර