හෝමාගම පොලිස් වසමේ හෝමාගම මූලික රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් ඉදිරිපිට ඊයේ (29) රාත්‍රියේ නිදා සිටි වයෝවෘද්ධ යාචකයකු හට පෙට්‍රල් ඉන්ධන වත්කර ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහල ආසන්නයේම පදිංචි කරුවකු වන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත්වූ (64) හැවිරිදි පෙරුම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති පුද්ගලයෙක් බවත් පොලීසිය පැවසීය.
යාචකයා ඝාතනයට ලක් කළ පුද්ගලයා මීට පෙර දිනක ඔහු සමග බහින් බස් වීමක් සිදුවී ඇති බවත් එලෙස බහින්බස් වීම සිදුවන අතරතුරදී සැකකාර තරුණ පුද්ගලයා කාලකන්නියා තෝ නාන්නේ නෑනේ නෑ නේද ? වෙලාවක මම උඹව අපුල්ලනවා බැරිවුනොත් රෙදි ටිකටත් ගිනිතියලා තොටත් ගිනි තියනවා උඹ මේ සීමාවේ රෑට නිදාගත්තොත් බලාගන්න පුළුවන් යැයි පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි
ඊයේ (29) රාත්‍රී 10.30 ට පමණ වයෝවෘද්ධ පුද්ගලයා නිදා සිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරය ඉදිරිපිටට පැමිණි සැකකරු යාචකයා දෙසට පෙට්රල් විසිකර ගිනි තබා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි.
සිද්ධියේදී විශාල ලෙස ගිනි ඇවිලුණු පුද්ගලයා උස් හඬින් කෑ ගැසීමේ ශබ්දය ඇසී අවට පදිංචි ප්‍රදේශවාසීන් පැමිණ ගිනි ගැනීමෙන් දැවෙමින් තිබූ පුද්ගලයා තෙත ගෝනි සහ තෙත රෙදි භාවිතා කරමින් නිවා දමා ඉතා ඉක්මනින් රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
ඇතුළත් කරන විටත් බරපතළ තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ යාචක පුද්ගලයා බේරාගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් එක්ව හදිසි ප්‍රතිකාර රැසක් සිදු කර ඇති බවත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම වයෝවෘද්ධ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.
සිඟමන් යදිමින් සිටි යාචක පුද්ගලයා ගිනි තබා ඝාතනයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණ පුද්ගලයා (27) වැනි වියේ පසුවන හෝමාගම, ගලවිල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සැකකරු හෝමාගම පොලිස් ස්ථානය නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
සැකකාර තරුණ පුද්ගලයා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී විටින් විට ප්‍රදේශවාසීන්ටද හිරිහැර වන අන්දමින් උන්මන්තක තත්ත්වයෙන් හැසිරෙන අයෙක් බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.