මිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණක් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් 55 දෙනෙකු සඳහා උසස්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (30) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති එම උත්සවයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ධවෙලා කටයුතු කරන රටේ සංවර්ධනයට කෙලින්ම වගකියන ආයතනයක්. ඒක නිසා මිනිස්සු රස්තියාදු නොකර ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න උසස්වීම් ලබන මේ සියලුම නිළධාරීන් දැඩිව සිතට ගන්න ඕන. මොකද නිළධාරීන් වැඩ නොකරනවිට බැණුම් අහන්නේ දේශපාලනඥයන්. මිනිස්සු නිළධාරීන්ට බණින්නෙ නැහැ. මම ඒ තත්ත්වයට වැටෙන්න සූදානම් නැහැ. නිළධාරීන් පස්සේ නොගියට මේ ආයතනයේ වෙන හැම දෙයක් ගැනම මම දන්නවා. ඒ නිසා වැඩ කරන්නේ කවුද? වැඩ නොකරන්නෙ කවුද කියන දේ ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.
පහුගිය කාලයේදී මේ ආයතනයේ සිදුවුණ යම් යම් දේවල් නිසා නාගරික සංවර්ධන අධිකාරිය ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන්න වැරදි චිත්‍රයක්. අපි ඒ වැරදි චිත්‍රය මකන්න ඕන. ඒක කරන්න පුළුවන් ලේසිම විදිය තමයි වැඩ කරනඑක. මේ උසස්වීම් ලබන නිළධාරීන්ගෙන් මම අවංක සේවයක් බළාපොරොත්තු වෙනවා. ඒක පැය 8 කට ලඝු කරන්න එපා. මිනිස්සු සනසවමින් රටක් සංවර්ධනය කරන්නෙ කොහොමද කියල අපි කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරන්න ඕන.
නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරුන් වශයෙන් නිළධාරීන් පත්කරන්න සම්මුඛ පරීක්ෂණයට මම කිසිම බළපෑමක් කළේ නැහැ. ඒ වගේම කිසිම ආයතනයේ ඉහළ මට්ටමින් එල්ල වෙන්න මම ඉඩ තිබ්බෙත් නැහැ. මේක බොහෝම ස්වාධීනව සිදුවුණ සම්මුඛ පරීක්ෂණයක්. අපි කවුරුත් දන්නවා මේ මොහොතේ රට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දීල තියෙන්නේ. එවැනි මොහොතකද රජයේ ආයතනකට අලුතින් උසස්වීම් දෙනව කියන්නෙම ලොකු අවධානමක්.
නමුත් මම අමාත්‍යවරයා විදියට ඒ අවධානම ගත්තා. මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. ඒ වේන්ජ් එක කරන්න පුළුවන් පෙරළා මිනිස්සුන්ට වැඩ කිරීමෙන් පමණයි. මම ඔබෙන් බළාපොරොත්තු වෙන්නේ වැඩ විතරයි. ඔබ නිවැරදිව ක්‍රියා කලොත් ඔබ රකින්න මම ඉදිරිපත්වෙනවා. වැරදි වැඩ කරල සමාව ඉල්ලගෙන මගේ පස්සෙන් එන්න එපා. ඒක නිසා “ ජනතාවට මුල්තැන දීලා” වැඩ කරන්න පුරුදු වෙන්න කියල මම ඔබෙන් ඉල්ලනවා යැයිද පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා මෙසේ පැවසීය. මෙම උසස්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කොට අපිට යම් යම් බලපෑම් ආවා. නමුත් ඇමතිතුමාගේ මැදිහත්වීම මත ඒ බලපෑම් නතර කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. කෙනෙක්ගේ පළපුරුද්ද වෙන දෙයක්. හැකියාව තවත් එකක්. අත්දැකීම් මතම ආයතන පවත්වාගෙන යන්න බැහැ. පරිණත මිනිස්සු අතරට තරුණ
පරම්පරාවේ අදහසුත් ඕන. ඒ මිශ්‍රවීමෙන් තමයි ආයතනයක් ඵලදායීව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ රාජ්‍ය සේවය තිබෙන්නෙ ප්‍රශ්නාර්ථයක. ඒ නිසා තමන්ගේ ජොබ් එක හරියට කරන්න ඔබ දැනගන්න ඕන. මොකද ඔබේ තැනට එන්න තවත් විශාල පිරිසක් එළියෙ බලාගෙන ඉන්නවා. ඒ නිසා කැපවීමෙන් වැඩ කරල ඉදිරි තනතුරුවලට එන්න උත්සාහ ගන්න. වැඩ කරන මිනිස්සුන්ට නාගරික සංවර්ධන අධිකාරියෙ ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්( මානව සම්පත් හා පරිපාලන) සොලමන් සුමනසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.