Home » පෝෂණ අවශ්‍යතා ඇති දරුවන් ගැන නිවැරදි වාර්තාවක් ඉල්ලයි

පෝෂණ අවශ්‍යතා ඇති දරුවන් ගැන නිවැරදි වාර්තාවක් ඉල්ලයි

by yasara
October 30, 2023 12:55 pm 0 comment

ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් රාජ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් සහභාගී වුහ.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, ළමා මන්ද පෝෂණය සම්බන්ධව රාජ්‍ය ආයතන ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාමය වාර්තා වලින් සැබෑ ලෙසම දිවයිනේ මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව අනාවරණය නොවන බව පෙන්වා දුන්නේය

ඒ අනුව ළමා මන්ද පෝෂණය සම්බන්ධව පවතින නිවැරදිම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැළසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

එහිදී වැඩි දුරටත් කරුණු පහැදිළි කළ කාරක සභා සාමාජිකයින් ශ්‍රී ලංකාව තුල මන්ද පෝෂණය මෙන්ම අධි පෝෂණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද නිවැරදි දත්ත වල අවශ්‍යතාව පෙන්වා දුන්හ.

දිවයින පුරා ත්‍රිපෝෂ ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි. මේ වන විට වයස මාස 06ත් අවුරුදු 3ත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ නිකුත් කිරීම සිදු නොවන බවත් අවරුදු 3ත් 5ත් අතර දරුවන් සඳහා පමණක් ත්‍රිපෝෂ ලබාදීම කටයුතු කරන බව කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිලධාරීහු පැවසූහ.

මාස 06ත් අවරුදු 3ත් අතර දරුවන් සඳහා ත්‍රිපෝෂ නිකුත් නොකිරීම පිළිබඳව කරුණු දැක්වූ එම සමාගමේ නිලධාරීහු, එම වයස් ඛාණ්ඩය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී අදාළ නිර්ණායකයන්හි පවතින ගැටලුවක් හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන සිදු නොකරන බව පැවසූහ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම ගැටලුව නිරාකරණය කර දීමෙන් පසුව එම වයස් ඛාණ්ඩය සඳහාද ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ හැකි බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම බෙදා හරිනු ලබන ත්‍රිපෝෂ දුෂ්කර පළාත්වල අවශ්‍යතා සහිත පිරිසට නිවැරදි ආකාරයෙන් බෙදී යන්නේද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

ඒ අනුව නිවැරදිවම පෝෂණ අවශ්‍යතා ඇති දරුවන් හඳුනාගෙන සහ අවශ්‍යතා පවතින දරුවන්ටම මෙම ත්‍රිපෝෂ බෙදීයාම පිළිබදව අධීක්ෂණය සිදුකළ යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණි කුමාරි විජේරත්න , ජගත් සමරවික්‍රම, උපුල් ගලප්පත්ති, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත පාර්ලිමේන්තුමන්ත්‍රී  සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍යනිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT