Home » තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් ආරම්භ කරයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් ආරම්භ කරයි

by yasara
October 30, 2023 12:11 pm 0 comment

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මීට වසර 10 ක පමණ කාළයක සිට තුර්කි ගුවන් සේවය මාළදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත තම ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබූ අතර , මෙසේ ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වන බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ගුවන් තොටුපොළ තුළ පැවති පිළිගැනීමේ උත්සවයේ දී පැවසීය .

ඒ අනුව තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන  පළමු මංගල ගුවන් යානය අද උදෑසන 05.40 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය ගුවන් යානයේ ගුවන් මගීන් 209 දෙනෙකු පිටත්ව ගියහ .

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මෙම ඍජු ගුවන් ගමන් සේවා සදහා පැය 08 ක කාළයක් වැය වන අතර සෑම සතියකම සදුද , අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල උදෑසන 05.40 ට තුර්කියේ සිට පැමිණෙන මෙම ගුවන් යානා , ආපසු උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලා පිටත් වීමට නියමිතය .

එසේම එළඹෙන 2024 වසරේ සිට සතියේ දින 07 ම මෙම තුර්කි ගුවන් සේවා යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

මෙම ගුවන් යානය පිළිගැනීමේ උත්සවයට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ඩිමෙත් මහත්මිය , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පා , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති චානක ගජබාහු ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ක්ෂේත්‍රයට අදාළ විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT