Monday, April 21, 2025
Home » බිරිය හා දරු දෙදෙනා පීඩාවට පත් කළ සැමියාට නිවෙසට ඇතුළුවීම තහනම්

බිරිය හා දරු දෙදෙනා පීඩාවට පත් කළ සැමියාට නිවෙසට ඇතුළුවීම තහනම්

by mahesh
October 27, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ වාර්තාකරු

නිතර මත්පැන් පානය කර පැමිණ බිරිඳට හා දරුවන් දෙදෙනකුට ආහාර පාන පවා නොදී විවිධ වූ පීඩාවන් සිදු කරන බව කියන වග උත්තරකාර සැමියකුට බිරිඳ හා දරුවන් පදිංචි නි‍ෙවසට ඇතුළු වීම තහනම් කරමින් අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (25) ආරක්ෂක අතුරු ආඥාවක් නිකුත් කළේය.

නිට්ටඹුව, නවගමුව පදිංචි වරුසප්පෙරුම දොන් ප්‍රදීප් සංජීව (45) නමැත්තකුට එසේ ආරක්ෂක අතුරු ආඥාවක් නිකුත් කෙරිණි. වග උත්තරකරුගේ විවාහක බිරිඳගේ පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩුවක් පවරා ඇත.

එම නඩුව පෙරේදා (25) කැඳවූ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මියගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් එච්. ආර්. ඇස්. කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිලිකාරිය සාක්කි කූඩුවට නැඟ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එසේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර සැමියාට බිරිඳ හා දරුවන් පදිංචි නවගමුව නිවසට ඇතුළු වීම තහනම් කරමින් ආරක්ෂක අතුරු ආඥාවක් නිකුත් කළේය.

එම ආරක්ෂක අතුරු ආඥාවට අනුව බිරිඳ හා දරුවන් පදිංචි නි‍ෙවසට ඇතුළු වීම තහනම් කිරීම පමණක් නොව එම නි‍ෙවස විකිණීම, අන්සතු කිරීම හා අන් අයෙකුට පැවරීම ද තහනම් කෙරිණි. එයට අමතරව බිරිඳට, දරුවන් දෙදෙනාට හා බිරිඳගේ මවුපිය පාර්ශ්වයන්හි කිසිවෙකුට හෝ පහරදීම් කිරීම, ඔවුන් පීඩාවන්ට පත් කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණි.

එම ආරක්ෂක අතුරු ආඥාව ස්ථිර ආඥාවක් බවට පත් නොකිරීමට හේතු දැක්වීම සඳහා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි භාර දීමට ද අධිකරණයේ පිස්කල්වරයාට නියෝග කෙරිණි. ආරක්ෂක අතුරු ආඥාවේ පිටපත් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයාට හා පැමිණිලිකාරියට භාර දීමට ද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කෙරිණි. නැවත කැඳවීම නොවැම්බර් මස 08 වනදාට කල් තැබිණ.

නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මියගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. ඇල්. රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් එච්. ආර්. ඇස්. කුමාර මහතා පැමිණිල්ල මෙහෙය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT